දකුණු අප්‍රිකාවේදී අපට වැරදුණේ කොතන ද?

දකුණු අප්‍රිකාවේදී අපට වැරදුණේ කොතන ද?

by Staff writer 11-03-2019 | 9:19 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ තව ත් තරග 2 ක් ඉතිරිව තිබියදී පරාජය වූයේ මෙරට ක්‍රීඩා ලෝලීන්ට මෙන්ම ක්‍රිකට් බලධාරීන්ට ද සිතන්නට යමක් ඉතුරු කරමිනි.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන්වරට සහභාගී වූ එක්දින තරගාවලි හතරම පරාජයවීම කණගාටුවට කරුණකි. 2017 වසරේ සිට මේ දක්වා නායකයින් 5 දෙනෙකු යටතේ ලෝක කුසලානයට සූදානම් වන ශ්‍රී ලංකා කණ්ඩායමට තවමත් නිවැරදි මාර්ගය සොයා ගැනීමට නොහැකිවීම පුදුමයට කරුණකි. ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමට නියමිතව සිටින ශ්‍රී ලංකා සංචිතයේ උපනායකත්වය හිමි වූ නිරෝෂන් දික්වැල්ල සිය නායකත්ව වගකීම පසුගිය තරග කිහිපයේදී ඉටු කළේ ද යන්න ප්‍රශ්නයකි. නිමා වූ තරග තුනේදීම දකුණු අප්‍රිකාවට එරෙහිව නිරෝෂන් දික්වැල්ල රැස් කළේ, ලකුණු 16 ක් පමණි. ශ්‍රී ලංකාවේ අත්දැකීම් බහුලම ක්‍රීඩකයා වන උපුල් තරංග එක් තරගයක පමණක් දක්ෂතා නොදැක්වීම හේතුවෙන් සංචිතයෙන් ඉවත් කිරීම සාධාරණ ද යන්න බලධාරීන්ගෙන් සිතා බැලිය යුතු වේ. එය සාධාරණ නම් අඛණ්ඩව තරග කිහිපයකදී දක්ෂතා නොදක්වන ක්‍රීඩකයින්ට එම ක්‍රියා මාර්ගයම නොගන්නේ ඇයි ? කලක් ලොව අංක එකේ ක්‍රිකට් කණ්ඩායම වූ ශ්‍රී ලංකා කණ්ඩායමට වර්තමානයේ එක්දින තරගයක පන්දුවාර 50 ම ක්‍රීඩා කිරීමට නොහැකිවීම ද කැපී පෙනෙන කරුණකි. ඇන්ජලෝ මැතිව්ස් යළි ශ්‍රී ලංකා කණ්ඩායමට පැමිණීම අවිනිශ්චිතයි. ලෝක කුසලානයට තව ත් ඇත්තේ දින 80 ක්. මේ සියල්ලටම පසු දැන් වාර්තාවන නවතම තොරතුර, ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්නට ලබාදීමේ සූදානමක් පවතින බවයි. ලෝක කුසලානයට සහභාගී වන කණ්ඩායම දේශිය ක්‍රිකට් තරගාවලියක් හරහා තෝරා ගැනීමට ක්‍රිකට් බලධාරීන් අවධානය යොමු කර ඇති බවට ද තොරතුරු වාර්තා වේ. ශ්‍රී ලංකාවට අවශ්‍යව ඇත්තේ නායකයින් 11 දෙනෙකු නොව රට දිනවීමට හැකි ක්‍රීඩකයින් 11 දෙනෙක්. අඩුපාඩු නිවැරදි කර ගනිමින් එකා මෙන් තරගවැද ජය ගැනීම විනා පරාජයට හේතු දක්වමින් කා දමන්ට අපට කාලයක් නැති බව තේරුම් ගන්නේ කවදා ද?