වසන්ත කරන්නාගොඩගෙන් CIDයට පැය 8 ක ප්‍රකාශයක්

අද්මිරාල් වසන්ත කරන්නාගොඩගෙන් CID යට පැය 8 ක ප්‍රකාශයක්

by Staff writer 11-03-2019 | 7:31 PM

COLOMBO (News 1st) - තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියේ ය.

පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, අද පෙරවරු 9.00 ට පමණ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි බවයි. 2008 වසරේ සුදුවෑන් භාවිත කරමින් කොළඹදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවට අදාළව මෙම විමර්ශනය සිදු කෙරේ. ඒ සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 7 වැනි දා පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝගක් ද නිකුත් කළේ ය. පැය 08 කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව වසන්ත කරන්නාගොඩ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියේ ය.