ඉතියෝපියාවේ යානයක් කඩා වැටී 157 දෙනෙක් මරුට

Update : කඩා වැටුණු යානයේ සිටි සියලු මගීන් මිය ගොස් ඇතැයි, ගුවන් සමාගම කියයි

by Sagarika Chathumali 10-03-2019 | 3:06 PM
UPDATE : COLOMBO (News 1st) : ඉතියෝපියාවේ සිට කෙන්යාව බලා පියසර කරමින් තිබියදී අනතුරට ලක්වූ මගී ගුවන් යානයක් කඩාවැටීමෙන් එහි සිටි පුද්ගලයන් 157 දෙනා ම මියගිය බව ඉතියෝපියා ගුවන් සේවය තහවුරු කළේ ය. එම යානයේ ජාතීන් 33 කට අයත් පුද්ගලයන් 149දෙනෙකු සිට ඇති බව ගුවන් සේවය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවරින් ගුවන් ගමන අරඹා මිනිත්තු 6කට පමණ පසු යානය එරට බිශොෆ්ටු නගරයට කඩාවැටී තිබේ. කෙසේ වෙතත් අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. මෙලෙස අනතුරට ලක්වූයේ ඉතියෝපියානු ගුවන් සේවයට අයත් බෝයිං 737 MAX 8 වර්ගයේ නවීනතම ගුවන් යානයකි. අලුත්ම ගුවන් යානයක් වන මෙම බෝයිං යානය එම එතියෝපියානු ගුවන් සේවයට ලැබී ඇත්තේ මීට මාස 4කට පමණ පෙරයි. අද අනතුර වාර්තා වූයේ මීට මාස කිහිපයකට පෙර මෙම වර්ගයේ ම බෝයිං යානයක් ඉන්දුනීසියාවේදී අනතුරට ලක්වූ පසුබිමක් තුළයි . ඉන්දුනීසියාවේ ලයන් එයාර් ගුවන්සේවයට අයත් බෝයිං 737 MAX 8 වර්ගයට අයත් යානය පසුගිය ඔක්තෝබර් මාසයේදී කඩාවැටීමෙන් එහි සිටි පුද්ගලයන් 189 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. බෝයිං සමාගමට අනුව බෝයිං ඉතිහාසය තුළ වේගවත්ම අලෙවිය සහත ගුවන් යානය බවට පත්ව ඇත්තේ 737 MAX 8 යානයයි . ලොව පුරා ගුවන් සේවා 100කට අධික සංඛ්‍යාවකින් මේ වනවිට බෝයිං සමාගමට ලැබී ඇති ගුවන්යානා ඇණවුම් සංඛ්‍යාව 4700 කට අධික වේ. මෙම යානය සැලකෙන්නේ තරගකාරී වෙනත් යානාවලට සාපේක්ෂව ඉන්ධන අරපිරිමැසුම්දායක ගුවන්යානා ඛාණ්ඩයක් ලෙසයි . බෝයිං සමාගම පවසන්නේ, මෙම අනතුර පිළිබඳව සමීපව නිරීක්ෂණය කරන බවයි . 737 MAX 8 ගුවන් යානය , ගුවනට අලුත් යානයක් වන අතර එය එළිදක්වනු ලැබුවේ 2016 වසරේදීයි. කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යාටා ද යානය අනතුරට ලක්වූ අවස්ථාවේ එහි සිටි පුද්ගලයින්ගේ පවුල් වෙත සිය සංවේගය පළ කළේ ය. අප්‍රිකාවේ ජනප්‍රියතම ගුවන් සේවයක් වන ඉතියෝපියානු ගුවන් සේවය දෛනිකව අප්‍රිකානු මහාද්වීපයේ ගමනාන්ත රැසකට ගුවන්යානා පියාසර කරනු ලබයි. ඉතියෝපියානු ගුවන් සේවයට ආරක්ෂාව සම්බන්ධයෙන් යහපත් කීර්තිනාමයක් පැවතිය ද 2010 වසරේදී ඉතියෝපියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් මධ්‍යධරණී මුහුදට කඩා වැටීමෙන් මගීන් 90 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ. ------------------------------------------------------------------------------------------------------------------------------ 3.30 PM : COLOMBO (News 1st) : මගීන් 149 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 8 දෙනෙකු රැගත් ඉතියෝපියානු මගී ගුවන් යානයක් කඩා වැටී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, යානයක් ඇඩිස් අබාබා සිට කෙන්යාවේ නයිරෝබි දක්වා පියාසර කරමින් තිබූ බවයි. ඉතියෝපියාවේ ඇඩිස් අබාබාහි ගුවන් තොටුපෙළෙන් ගුවන්ගත කර සුළු වේලාවකට පසු මෙලෙස යානය කඩා වැටී තිබේ. ඉතියෝපියවේ බිෂෝෆ්ට් ප්‍රදේශයට මෙලෙස කඩා වැටී ඇත්තේ, බෝයිං 737 වර්ගයේ ගුවන් යානයකි. මේ අතර අනතුරට පත් යානයේ සිටි මගීන්ගේ පවුල් වෙත සිය කනගාටුව පළ කරමින්  ඉතියෝපියානු අග්‍රාමාත්‍ය අබි අහමඩ් ට්විටර් ඔස්සේ ශෝක පණිවුඩයක් පළ කර තිබේ.