බොරැල්ල රථවාහන අංශයේ OIC මියයයි

බම්බලපිටියේදී ජීප් රථයක ගැටුණු බොරැල්ල රථවාහන අංශයේ OIC මියයයි

by Staff writer 10-03-2019 | 6:23 AM

COLOMBO (News 1st) - බම්බලපිටියේදී ඩිෆෙන්ඩර් රථයක ගැටීමෙන් අසාධ්‍ය තත්ත්වයෙන් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතා ඊයේ රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.

ඒ, සති දෙකක් පුරා සිහිමුර්ජා තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී යි. පසුගිය පෙබරවාරි 24 වන දා රාජකාරී කටයුත්තක් සඳහා යතුරු පැදියකින් යමින් සිටියදී අලුයම 4.30 ට පමණ බම්බලපිටිය ඩුප්ලි බුලස් හන්දියේදී ඩිෆෙන්ඩර් රථයක් ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කර පළා ගොස් තිබුණි. ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කර පළා ගිය ඩිෆෙන්ඩර් රථය පසුව බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ නිවසක තිබියදී සොයා ගැණුනු අතර අනතුර සම්බන්ධයෙන් සැකකරුවන් 8 දෙනෙකු ද අත්අඩංගුවට පත් විය. ඒ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුත්‍රයා, කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙක් සහ පොලිස් අධිකාරිවරයෙකුගේ පුත්‍රයෙකු ද වූ අතර සැකකරුවන් 8 දෙනෙකුගෙන් 7 දෙනෙකුම පසුගිය පෙබරවාරි 26 වන දා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරුණි. ඩිෆෙන්ඩර් රථය පැද වූ උදේශ් රත්නායක නමැත්තා හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේ ය. අනතුරින් මියගිය බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතා බොරලැස්ගමුව, වේරහැර ගංගාරාම ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි ඔහු පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. දරුවන් තිදෙනෙකු පියෙකු වූ සරත්චන්ද්‍ර මහතා මියයන විට 51 වැනි වියේ පසු විය.   https://www.youtube.com/watch?v=3aAg_aLhESY