ශ්‍රී ලංකාවට තීරණාත්මක තරගය අද

දකුණු අප්‍රිකා - ශ්‍රී ලංකා තීරණාත්මක තෙවන එක්දින තරගය අද

by Staff writer 10-03-2019 | 9:02 AM

තරග 5 කින් සමන්විත ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන තරගය අද පැවැත්වේ.

ඒ, දකුණු අප්‍රිකාවේ ඩර්බන්හිදී යි. මෙම තරගය දකුණු අප්‍රිකා කණ්ඩායම ජයගතහොත්, දෙරට අතර එක්දින තරගාවලියේ ජය ඔවුන් සතු වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම තවදුරටත් තරගාවලිය කෙරෙහි බලාපොරොත්තුවක් තබා ගැනීමට නම් අද තරගය අනිවාර්යෙන් ජයගත යුතු වනු ඇත. තරගාවලියේ පැවැති පළමු තරගය දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුලු 8 කින් ජයගත් අතර තරගාවලියේ දෙවන තරගය ඔවුන් ජය ගත්තේ ලකුණු 113 කිනි. අද තරගය පැවැත්වෙන ඩර්බන් හි කිංග්ස්මීඩ් ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අවස්ථා දෙකකදි එකිනෙකා මුණගැසී ඇති අතර ඉන් එක් තරගයක් ලකුණු සමවීමෙන් අවසන් වී තිබේ. අවසන් වරට 2017 වසරේ පැවැති තරගය දකුණු අප්‍රිකා කණ්ඩායම ජය ගත්තේ ලකුණු 121 කිනි. අද තරගය සඳහා දෙවන එක්දින ක්‍රිකට් තරගය ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා සංචිතයම ක්‍රීඩා කිරීමට බොහෝ සෙයින් ඉඩ පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔවුන් වැඩිදුරටත් වාර්තා කරන්නේ, අද තරගයට ශ්‍රී ලංකා සංචිතය සඳහා බොහෝවිට ලක්ෂාන් සඳකැන් වෙනුවට යොවුන් ක්‍රීඩක කමිදු මෙන්ඩිස් කැඳවීමට ඉඩ ඇති බවයි. අද තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30 ට ආරම්භවීමට නියමිත වේ.