යුද රහස් පිට කළ වරදට සිරබත් කන හමුදා සෙබළිය...

යුද රහස් පිට කළ වරදට සිරබත් කන හමුදා සෙබළිය...

by Sagarika Chathumali 09-03-2019 | 5:53 PM
COLOMBO (News 1st) : විකිලීක්ස් වෙබ් අඩවියට තොරතුරු ලබා දීමේ සිද්ධියට අදාළ විමර්ශනයකදී සාක්ෂි ලබා දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් අමෙරිකානු හිටපු බුද්ධි විශ්ලේෂිකාවක සහ යුද සෙබළියක වන චෙල්සී මැනින් සිරගත කරන ලෙස වර්ජිනියා අධිකරණය නියෝග කර තිබේ. වර්ජිනියාහි විනිසුරුවරයා නියෝග කර ඇත්තේ, ජූරියේ කටයුතු අවසන් වන තුරු හෝ ඇය සාක්ෂි ලබා දීමට එකඟ වන තුරු සිරගත කර තබන ලෙසයි. එහෙත් 31 හැවිරිදි මැනින් පවසා ඇත්තේ, තමා දන්නා සියලු දේ යුද අධිකරණය හමුවේ මේ වන විටත් හෙළි කර ඇති බවයි. විකිලීක්ස් වෙබ් අඩවියට යුද රහස් හෙළි කිරීමේ චෝදනාවට වරදකාරිය වීම හේතුවෙන් 2013 වසරේදී ඇයට දඩුවම් නියම වූ අතර පසුව එම දඬුවම් කාලය ලිහිල් කෙරිණ. 700,000කට අධික යුද රහස් සහිත ලිපිලේඛන, දර්ශන විකිලීක්ස් වෙත ලබා දීමේ චෝදනාව මත මැනින් 2010 වසරේදී ඉරාකයේදී අත්අඩංගුවට පත් වූවා ය. 2017 වසරේදී පැවති නඩු විභාගයේදී චෝදනා 20කට වරදකාරියක වීම හේතුවෙන් අමෙරිකානු අධිකරණය හිටපු හමුදා නිලධාරිනියක වූ මැනින්ට අවුරුදු 35ක සිර දඬුවමක් නියම කළේ ය. රාජ්‍ය රහස් තොරතුරු හෙළිදරව් කිරීමේ වරදක් සම්බන්ධයෙන් අමෙරිකානු ඉතිහාසයේ වරදකරුවෙකුට නියම වූ දීර්ඝතම දඬුවම් කාලය ලෙස සැලකෙන්නේ ද මෙයයි. එහෙත් 2017 වසරේදී ජනාධිපති බැරක් ඔබාමා ඇයට නියම වූ 35 අවුරුදු සිර දඬුවම ලිහිල් කරමින් එය අවුරුද් 7ක් දක්වා අඩු කිරීමට කටයුතු කළේ ය. කෙසේ වෙතත් ඔබාමාගෙන් පසුව ජනපති ධුරයට පත් ට්‍රම්ප් මැනින්ගේ දඬුවම් කාලය ලිහිල් කිරීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කර තිබේ. ඔහු පවසා ඇත්තේ, මැනින් ගුණමකු දේශද්‍රෝහියෙකු බැවින් ජීවිත කාලය පුරාවටම ඇය සිරගත කර තැබිය යුතු බවයි.