නාලක සිල්වාගේ ඇප ඉල්ලීම මහාධිකරණය ඉවත දමයි

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාගේ ඇප ඉල්ලීම මහාධිකරණය ඉවත දමයි

by Staff writer 08-03-2019 | 5:32 PM
COLOMBO (News 1st) - ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ, හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ ඇප ඉල්ලීම මහාධිකරණය අද ප්‍රතික්ෂේප කළේ ය. ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවේ ඔහුගේ ඇප ඉල්ලීම සලකා බැලූ අවස්ථාවේදී ය. සැකකරු වෙනුවෙන් කළ ඇප ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය දෙසැම්බර් 19 වන දා ප්‍රතික්ෂේප කරමින් ලබා දුන් නියෝගය ප්‍රතිශෝධනය කර ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත්වරයාට නියෝගයක් කරන්නැයි ඉල්ලා ගොනු කර තිබූ ඇප අයැදුම්පත විභාගයට ගැනීමට අවසර ලබා දීමකින් තොරවම මහාධිකරණ විනිසුරුවරයා ප්‍රතික්ෂේප කළේ ය. සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධි විධාන යටතේ බව විනිසුරුවරයා පැවසුවේ ය. ඔහුට එරෙහිව ගොනු කර ඇති චෝදනා අනුව ඇප ප්‍රතික්ෂේප කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝගය නීත්‍යානුකූල නියෝගයක් බවට මහාධිකරණ විනිසුරුවරයා නිගමනය කළේ ය.