ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව අත්කරගෙන ඇති ප්‍රගතිය මන්දගාමියි - මානව හිමිකම් මහ කොමසාරිස්වරිය කියයි

by Staff writer 08-03-2019 | 8:55 PM
(News 1st) - ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල මහ කොමසාරිස්වරිය ඉදිරිපත් කළ වාර්තාවක් මේ වන විට ප්‍රසිද්ධ කර තිබේ. ඒ, අමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය දේශපාලන වශයෙන් පක්ෂපාතී බවට චෝදනා කර ඉන් ඉවත් වූ පසුබිමක ය. ශ්‍රී ලංකාව 2015දී සම අනුග්‍රහය දැක්වූ යෝජනාවලිය ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව අද ඉදිරිපත් වී ඇති වාර්තාවෙහි දැඩි ස්ථාවරයක් දැක්වේ. 2015 වසරේදී ශ්‍රී ලංකාවට අවාසිදායක වූ එම යෝජනාවලිය ඉදිරිපත් කිරීමට මූලික වූයේ අමෙරිකා එක්සත් ජනපදයයි. ශ්‍රී ලංකාව ද ඇතුළුව රටවල් 43ක් ඊට සම අනුග්‍රහය දැක්වුවේ ය. මෙහි කේන්ද්‍රීය කණ්ඩායමට ඇතුළත් වූයේ අමෙරිකාව, බ්‍රිතාන්‍යය, මොන්ටිනිග්‍රෝ සහ මැසඩෝනියාවයි. මැදපෙරදිග ඇතුළුව ලෝකයේ යුද ගැටුම් රැසකට සම්බන්ධ වූ අමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්ව යන්නේ පක්ෂග්‍රාහීත්වය පිළිබඳව බරපතළ චෝදනාවක් එල්ල කරමිනි. ශ්‍රී ලංකාව සම අනුග්‍රහය දැක්වූ අදාළ යෝජනාවලිය 2002 වසරේ සිට 2011 වසර දක්වා මෙරට සිදු වූ සිද්ධි පිළිබඳව අවධානය යොමු කරන්නකි. අද ප්‍රසිද්ධියට පත් වාර්තාව, ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව පසුවිපරමක යෙදෙන වාර්තාවකි. එම වාර්තාවෙන් සංහිඳියා ක්‍රියාවලිය සඳහා සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයක් පිහිටුවීම පිළිබඳව ස්තුතිය පුද කරන අතර අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය හා ජාතික සංහිඳියා ලේකම් කාර්යාලය පිහිටුවීම ගැන ද ස්තුති කර තිබේ. නමුත් තම කැපවීම් සැබැවින්ම ක්‍රියාවට නැගීම මන්දගාමී බවත්, අපරාධ වගකීම් ක්‍රියාවලියේ ඇත්තේ අඩු ප්‍රගතියක් බවත් මෙහි දැක්වේ. පළමු යෝජනාවලියට සම අනුග්‍රහය දැක්වීමේදී විශේෂ කරුණක් වූයේ විශේෂ අධිකරණයක් පිහිටුවන බව වුවත්, මේ දක්වා ඊට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි ද සඳහන් ය. රටේ සිදුව ඇති අපරාධවල සංකීර්ණ තත්ත්වය පාලනය කිරීමේ හැකියාවක් මෙරට අපරාධ යුක්ති යාන්ත්‍රණයට ඇති දැයි මෙම වාර්තාවෙන් ප්‍රශ්න කර ඇත්තේ නිදසුන් කිහිපයක් ද දක්වමිනි. ඉන් පළමු වැන්න වන්නේ, 2008 -2009 කාලයේ තරුණයින් 11 දෙනෙකු අතුරුදන් වීමේ සිද්ධියයි. ඊට අමතරව 28 දෙනෙකුට මරු කැඳවූ වැලිකඩ බන්ධනාගාර ගැටුම, රතුපස්වල උද්ඝෝෂණයක් අතරතුර සිදු වූ මරණ, නඩරාජා රවිරාජ් ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මෙම වාර්තාවෙන් සිහිපත් කර තිබේ. අද ප්‍රසිද්ධ කර ඇති වාර්තාවේ පැහැදිලිව දිස්වන්නේ, ශ්‍රී ලංකාව අඩු ප්‍රගතියක් දක්වා ඇති බැවින් තවදුරටත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල ක්‍රියාවලියේ න්‍යාය පත්‍රය තුළ සිටිය යුතු රටක් බව ය. මේ වාර්තාව මාර්තු මස 20 වන දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල මහ කොමසාරිස් මිෂෙල් බැෂලෙට් මහත්මිය විසින් ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.