බොරැල්ල රථවාහන අංශයේ OIC තවමත් දැඩි සත්කාර ඒකකයේ

අනතුරට දින 13යි : බොරැල්ල රථවාහන අංශයේ ස්ථානාධිපති තවදුරටත් දැඩි සත්කාරයේ....

by Sagarika Chathumali 08-03-2019 | 12:12 PM
COLOMBO (News 1st) : පසුගිය දා රිය අනතුරකට ලක් වූ බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ආන්නද සාගර සරච්චන්ද්‍ර මහතා තවදුරටත් බරපතළ තත්ත්වයේ පසුවන බව කොළඹ ජාතික රෝහල පවසයි. ජාතික රෝහලේ ප්‍රකාශිකාවක පැවසුවේ, ශල්‍යකර්ම කිහිපයකට භාජනය කර ඇතත් ස්ථානාධිපතිවරයා තවදුරටත් සිහිමුර්ජා ත්ත්වයේ පසුවන බවයි. ස්ථානාධිපතිවරයා ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර අදට දින 13 කි. පසුගිය පෙබරවාරි 24 වන දා රාජකාරී කටයුත්තක් සඳහා යතුරු පැදියකින් යමින් සිටියදී අලුයම 4. 30ට පමණ බම්බලපිටියේදී ඩිෆෙන්ඩර් රථයක් ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කර පලා ගොස් තිබිණ. ස්ථානාධිපතිවරයා අනතුරට ලක්කර පළා ගිය ඩිෆෙන්ඩර් රථය පසුව බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ නිවසක තිබියදී සොයා ගැනුණු අනතුර සම්බන්ධයෙන් සැකකරුවන් 8 දෙනෙකු ද අත්අඅඩංගුවට පත් විය. අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුත්‍රයා ද විය. පෙබරවාරි 26 වන දා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් 8 දෙනාගෙන් 7 දෙනෙකු ඇප මත මුදා හැරිණ. ඩිෆෙන්ඩර් රථය පැද වූ උදේශ් රත්නායක නමැත්තා ලබන 11 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේ ය. මේ අතර ආන්නද සාගර සරච්චන්ද්‍ර මහතාගේ සුවදුක් විමසීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද පසුගිය දා ජාතික රෝහල වෙත පැමිණියේ ය.   අනතුරට අදාළව විකාශය වූ දර්ශන පෙළක් පහතින්.... https://youtu.be/AI1KpALwBsM