by Staff writer 08-03-2019 | 5:24 PM
COLOMBO (News 1st) - තමන්ට එරෙහිව නීතිපතිවරයා කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව විභාගයට ගැනීම වළක්වන අතුරු තහනම් නියෝගයක් සහ එම විභාගය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කර තිබූ රිට් ආඥා පෙත්සම ලබන 12 වන දා සලකා බැලීමට අභියාචනාධිකරණය අද පස්වරුවේ තීරණය කළේ ය.
රාජපක්ෂ මහතාට එරෙහිව මෙම නඩුව පවරා ඇත්තේ වීරකැටිය, මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් ලක්ෂ 339ක් වැය කිරීම ඇතුළු අධිචෝදනා යටතේ ය.
නීතිපතිවරයා සහ විශේෂ මහාධිකරණ විනිසුරුවන් තුන්දෙනා වගඋත්තරකරුවන් කරමින් ගොනු කර තිබූ එම පෙත්සම අර්ජුන ඔබේසේකර සහ අචල වෙන්ගප්පුරු යන විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවනු ලැබුවේ ය.
වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කර සිය පෙත්සම විභාගයට ගන්නා ලෙස පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබිණි.
මහා පරිමාණ හා මූල්‍යමය හා ආර්ථිකමය වංචා සම්බන්ධයෙන් හැර අනෙකුත් සුළු නඩු විභාග කිරීමට විශේෂ මහාධිකරණයට නීතිමයක් බලයක් නොමැති බවට සිය නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කරමින් විශේෂ මහාධිකරණය විසින් පසුගිය පෙබරවාරි 11 වන දා ලබා දුන් තීන්දුව නීතියට පටහැනි බවට හා එම නඩුව විභාගයට ගැනීමට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලට නීතිමය බලයක් නොමැති බවට නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.