MTD Walkers ආයතනයට එරෙහිව බැංකු කිහිපයක් අධිකරණයට

MTD Walkers ආයතනයට එරෙහිව බැංකු කිහිපයක් අධිකරණයට

by Staff writer 07-03-2019 | 10:32 PM
COLOMBO (News 1st) - එම්.ටී.ඩී. වෝකර්ස් ආයතනය ආර්ථිකමය වශයෙන් ගැටලුවලට මුහුණ දී සිටින වකවානුවක ඊට අදාළ තවත් තොරතුරු හෙළිව තිබේ. මලයාසියා එක්සිම් බැංකුව හරහා ලබා ගත් අමෙරිකානු ඩොලර් මිලියන 19ක මුදලක් නැවත පියවීම ඉන් එක් කරුණක් වන අතර මෙම මුදල් පියවීම සිදු කර ඇත්තේ, එම්.ටී.ඩී. බර්හාඩ් නමැති මව් සමාගමයි. නමුත් ශ්‍රී ලංකාවේ එම්.ටී.ඩී. වෝකර්ස් සමාගම සහ මෙරට බැංකුවලට එම ආයතනය විසින් ලබා ගත් ණය මුදල් පියවීම සම්බන්ධයෙන් තවමත් නිසි විසඳුමක් නොමැත. මේ සම්බන්ධයෙන් දේශීය බැංකු කිහිපයක් අධිකරණ ක්‍රියාමාර්ගවලට ද යොමුව තිබේ. සුප්‍රිම් සැට් නමැති ආයතනයට අනුබද්ධ සමාගමකින් මෙම ආයතනයට අධ්‍යක්ෂවරු දෙපළක් නම් කර තිබුණ ද කාලයේ ඇවෑමෙන් ඔවුන් වෙනුවට කොරියන් එස්.පී.ඒ. ආයතනයට සම්බන්ධ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු සම්බන්ධ වී ඇති බව අද මාධ්‍ය වාර්තාවල දැක්විණි. එම්.ටී.ඩී. වෝකර්ස් ආයතනය ණය පහසුකම් ලබා ගෙන ඇති බැංකු අතරින් මහජන බැංකුව විශේෂයි. මෙරට රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුව ජනතාව වෙනුවෙන් ස්ථාපනය කෙරුණු බැංකුවක් වන අතර එය අදාළ අණපනත්වලින් පවා පැහැදිලි වේ. මහජන බැංකුව එම්.ටී.ඩී. වෝකර්ස් ආයතනයට දිගින් දිගටම ණය පහසුකම් අනුමත කළේ, ජෙහාන් අමරතුංග මහතා එම්.ටී.ඩී. වෝකර්ස් ආයතනයේ නියෝජ්‍ය විධායක සභාපතිවරයා ලෙස හිඳිමින් මහජන බැංකුවේ අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කළ කාලයේ ය. මහජන බැංකුවේ එවක සභාපතිවරයා වූ හේමසිරි ප්‍රනානන්දු මහතා එම්.ටී.ඩී. වෝකර්ස් ආයතනයට ණය ලබා දීම සාධාරණීකරණය කරමින් මාධ්‍ය නිවේදන ද ලබා දුන්නේ ය. එයින් ඔබ්බට ගිය මහ බැංකුව ද එම ණය ලබා දීම සාධාරණීකරණය කළේ ය. මහ බැංකු බැඳුම්කර වංචාව සෙවීමට පත් කළ ජනාධිපති කොමිසම එවක මහ බැංකු අධිපතිවරයා ඊට වගකිව යුතු යැයි නිගමනය කළේ, ලැදියාවන් අතර ගැටුමක් බව සඳහන් කරමිනි. එම්.ටී.ඩී. වෝකර්ස් සමාගමේ නියෝජ්‍ය විධායක සභාපතිවරයා, මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සිට තම සමාගමට ණය ලබා ගැනීම ද ලැදියාවන් අතර ගැටුමක් බව පැහැදිලියි. ජෙහාන් අමරතුංග මහතාගේ පෞද්ගලික විශ්වාසය මත පිහිටා තව කොපමණ ප්‍රමාණයක ණය මුදල් මහජන බැංකුවෙන් රටේ මහ බැංකුවේ අනුමැතියට යටත්ව ලබා දී තිබේ ද ?