GIT විභාගයේ නියාමන පරීක්ෂණය මෙවර Online ක්‍රමයට

GIT විභාගයේ නියාමන පරීක්ෂණය මෙවර Online ක්‍රමයට

by Staff writer 07-03-2019 | 2:47 PM

COLOMBO (News 1st) - සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2018 නියාමන පරීක්ෂණය මෙවර ප්‍රථමවරට ඔන්ලයින් ක්‍රමයට පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් සනත බී පූජිත මහතා සඳහන් කළේ, මේ වස‍රේ මාර්තු 11 වන දා සිට මාර්තු 18 වන දා දක්වා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 655 කදී මෙය පැවැත්වීමට නියමිත බවය. මේ සඳහා අයැදුම්කරුවන් 188,000 පෙනී සිටීමට නියමිත අතර ඔවුන්ගේ ප්‍රවේශ පත්‍ර මේ වන විටත් පාසල් වෙත යවා ඇති බව සනත් බී පූජිත මහතා සඳහන් කළේ ය. යම් කිසි හේතුවක් මත ප්‍රවේශ පත්‍ර ලැබී නොමැති නම් අදාළ පාසල මගින් විභාග දෙපාර්තමේන්තුව දැනුවත් කළ යුතුයි. පරීක්ෂණයට පෙනී සිටිමේදී අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා විභාග ප්‍රවේශ පත්‍රය සමග ජාතික හැදුනුම්පත හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රයක්, රියැදුරු බලපත්‍රයක් ඉදිරිපත් කළ යුතු බව විභාග කොමසාරිස්වරයා සඳහන් කළේ ය. ඔහු වැඩිදුරටත් අවධරණය කළේ, අයැදුම්පත් ඉදිරිපත් කළ අයැදුම්කරුවන් හට පමණක් මෙම පරීක්ෂණය සඳහා පෙනී සිටීමට හැකියාව ලැබෙන අතර තමාට ලැබී ඇති ප්‍රවේශ පත්‍රයේ නියමිත දින දී නියමිත වේලාවට පරීක්ෂණ සඳහා පෙනී සිටිය යුතු බවයි. එමෙන්ම විභාග පරිපාලන කටයුතු සඳහා කාර්ය මණ්ඩල මේ වන විටත් පත් කර ඇති අතර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 173 දී විභාග අධීක්ෂණ කටයුතු සූදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසුවේ ය.