රු. 80,000ක අල්ලසක් ගත් CID නිලධාරියෙකු අත්අඩංගුවට

රු. 80,000ක අල්ලසක් ගත් CID නිලධාරියෙකු අත්අඩංගුවට

by Staff writer 07-03-2019 | 8:43 PM
COLOMBO (News 1st) - රුපියල් 80,000ක අල්ලසක් ලබා ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ. එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා සඳහන් කළේ, සුළු පරිමාණ ව්‍යාපාරිකයෙකුගෙන් මෙම අල්ලස් මුදල ලබා ගනිද්දී සැකකරු අත්අඩංගුවට ගත් බව ය. අදාළ ව්‍යාපාරිකයා භාණ්ඩ මිලදී ගන්නා ආයතනය හා අතරමැදියෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු වෙක්පත් වංචාවක් සම්බන්ධයෙන් ව්‍යාපාරිකයාට ද නඩු ගොනු කිරීමට හැකියාව ඇති බැවින් ඉන් වළක්වාලීම සඳහා සැකකරු රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා ඇති බව අල්ලස් කොමිසම සඳහන් කළේ ය. එම අල්ලසෙන් රුපියල් 20,000ක් මීට පෙර ලබා ගෙන ඇති සැකකරු ඉතිරි රුපියල් 80,000 ලබා ගනිද්දී අද කැලණිය ගෝනවල ප්‍රදේශයේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා සඳහන් කළේ ය. මේ අතර පුද්ගලයෙකුගෙන් රුපියල් 80,000ක අල්ලසක් ලබා ගත් පොලිස් සැරයන්වරයෙකු මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී අත්අඩංගුවට ගෙන තිබේ. අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා සඳහන් කළේ, බාල වයස්කාරිණියක් දූෂණය කිරීමේ නඩුවකට අදාළව මෙම අල්ලස ලබා ගෙන ඇති බව ය. දූෂණයට ලක් වූ දැරිය ප්‍රසූත කළ දරුවාගේ පියා කවුරුන් දැයි සනාථ කිරීමට කෙරෙන ඩී.එන්.ඒ. පරීක්ෂණය සඳහා දැරිය දූෂණය කළ බව කියන තැනැත්තාගේ රුධිර සාම්පලය වෙනස් කිරීමට අදාළ පොලිස් සැරයන්වරයා මෙලෙස අල්ලස් ලබා ගෙන තිබේ.