දෙවන එක්දින තරගයේ ජයත් දකුණු අප්‍රිකාවට

ශ්‍රී ලංකාව සමග දෙවන එක්දින තරගයෙන් දකුණු අප්‍රිකාව ජයගනී

by Staff writer 07-03-2019 | 7:36 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවට එරෙහි දෙවන එක්දින ක්‍රිකට් තරගයත් ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් විය.

ඒ, ඊයේ පැවති තරගයෙන් ලකුණු 113 ක පහසු ජයක් වාර්තා කිරීමත් සමගිනි. ඒ අනුව තරග 5 කින් සමන්විත තරගාවලිය තරග 2 ට 0 ක් ලෙස ඉදිරියෙන් සිටින්නේ සත්කාරක දකුණු අප්‍රිකාවයි. සෙන්චූරියන්හිදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ලසිත් මාලිංග පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය. ඒ අනුව දකුණු අප්‍රිකා ඉනිම වෙනුවෙන් පිටියට පිවිසියේ ක්විටන් ඩී කොක් සමගින් රීසා හෙන්ඩ්‍රික්ස්. එක්දින දිවියේ 20 වැනි අර්ධ ශතකය වාර්තා කළ ඩී කොක් ලකුණු 94 යි. දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 45 යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 251 ක් රැස් කළහ. තිසර පෙරේරා ලකුණු 26 ට කඩුලු 3 ක් දවා ගත්තේ ය. ලසිත් මාලිංග සහ ධනංජය ද සිල්වා අතර කඩුලු 2 බැගින් බෙදී ගොස් ඇත. ජයග්‍රහණය සඳහා ලකුණු 252 ක ඉලක්කයක් වෙනුවෙන් ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම අරම්භ කළේ, නිරෝෂන් දික්වැල්ල සමගින් අවිශ්ක ප්‍රනාන්දු යි. පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 11 කට සීමා කරමින් දික්වැල්ල ලකුණු 6 කට දැවී ගියේ ය. අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 10 ක් රැස් කළා. කුසල් ජනිත් පෙරේරාට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 8ක් පමණි. ඕෂධ ප්‍රනාන්දු ලකුණු 31 ක් රැස් කළේ, ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වෙමිනි. කුසල් මෙන්ඩිස් ලකුණු 24 ක් රැස් කර ඇත. ශ්‍රී ලංකා මුල් පෙළ කඩුලු 5 බිඳ වැටුනේ ලකුණු 92 කදීයි. තිසර පෙරේරා ලකුණු 23 කට දැවී ගියේ ය. ලකුණු 4 ක් තුළ ශ්‍රී ලංකා අවසන් කඩුලු 4 බිඳ වැටුණි. කගීසෝ රබාඩා ලකුණු 43 ට කඩුලු 3යි. වියාන් මූල්ඩර් ලකුණු 13 ට කඩුලු 2 ක් දවා ගත් අතර ලුන්ගි එන්ගීඩි ලකුණු 14 ට කඩුලු 2 ක් දවා ගත්තේ ය. පන්දුවාර 32 යි පන්දු 2 කදී ශ්‍රී ලංකා පිතිකරුවන් සියලු දෙනා ලකුණු 138 කට දැවී ගියේ ය.