by Staff writer 07-03-2019 | 9:55 PM
COLOMBO (News 1st) - රිය අනතුරකින් හානි සිදු වූ බවට සැලකෙන රජයට අයත් ජීප් රථයක් අද පෙරවරුවේ අග්බෝපුර පොලීසිය සිය භාරයට ගත්තේ ය.
ඒ, කන්තලේ අග්බෝපුර ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී ය.
මෙම රථය සොයා ගෙන ඇත්තේ කන්තලේ, අග්බෝපුර ප්‍රදේශයේ 191 නිවසේ තිබියදී ය.
ඒ, රිය අනතුරකින් හානි සිදුව ඇතැයි සැලකෙන වාහනයක් අදාළ නිවසේ ඇති බවට ප්‍රදේශවාසීන් පොලීසියට කළ පැමිණිල්ලකට අනුව ය.
මෙලෙස අද වාහනය පොලිස් භාරයට ගන්නා විටත් අදාළ ජීප් රථයේ ඉදිරිපස කොටසට දැඩි හානි සිදුව ඇති බව දක්නට ලැබිණි.
එක්සත් ජාතික පක්ෂයෙන් ඉකුත් පළාත් පාලන මැතිවරණයට පෙනී සිටි අපේක්ෂකයෙකුගේ නිවසේ තිබියදී රජයට අයත් මෙම ප්‍රාඩෝ වර්ගයේ රථය පොලිස් භාරයට ගැනුණු අතර එහි හිමිකරු බව පැවසෙන කන්තලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන පිටිදුව සමන්ජීව නමැත්තා අදාළ රථය කන්තලේ සීනිපුරදී ගවයෙකුගේ ඇඟේ ගැටී හානි සිදු වූ බවට ඉකුත් 26 වන දා පොලීසියට දන්වා තිබිණි.
ඔහු එහිදී වැඩිදුරටත් කියා ඇත්තේ, අදාළ වාහනය ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයෙන් තමාට පවරා දුන් වාහනයක් බව ය.
අනතුර සිදුව ඇත්තේ, ඉකුත් 20 වන දා වුවද පැමිණිල්ල කිරීමට කල්ගත වූයේ ඊට ආසන්න දිනයකදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති වැඩසටහනක් සංවිධාන කිරීමේ කටයුතු නිසා බව ද එහිදී ඔහු පොලීසියට පවසා තිබේ.
KC-0443 නමැති අදාළ වාහනය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව විදේශ කටයුතු අමාත්‍යංශයට අයත් වුවක් බවට සඳහන් වේ.
2006 වසරේ නිෂ්පාදනය කර ඇති එය විදේශ කටයුතු අමාත්‍යංශයේ අවසරයකින් තොරව විකිණීම, හුවමාරු කිරීම හෝ විනාශ කිරීම කළ නොහැකි බව ද අදාළ දත්තවල වැඩිදුරටත් සඳහන් ය.
කෙසේ වෙතත් ජීප් රථය පොලිස් භාරයට ගැනීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් අප විමසීමක් කළ අතර ඔවුන් පැවසුවේ, අදාළ වාහනය මෝටර් රථ පරීක්ෂකවරයාට ඉදිරිපත් කිරීමෙන් පසු එය එහි හිමිකරුට භාර දීමට කටයුතු කරන බව ය.
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ වාහනයක් මේ ආකාරයට පිටස්තර පුද්ගලයෙකුට පවරා දී ඇත්තේ කෙසේ ද ?
එම අමාත්‍යංශය පවතින්නේ අග්‍රාමාත්‍යවරයා යටතේ ය.