වෝහාරික විගණනයට වි. ආයතනයක සේවය ගැනීමට අනුමැතිය

මහ බැංකුවේ වෝහාරික විගණනයට විදේශීය ආයතනයක සේවය ලබා ගැනීමට කැබිනට් අනුමැතිය

by Staff writer 07-03-2019 | 9:06 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා මහ බැංකුවේ වෝහාරික විගණන කටයුතු සඳහා විදේශීය ආයතනයක සේවය ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ප්‍ර‍සම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඉන්දියාවේ එම්.එස්.බී.ඩී.ඕ. ඉන්ඩියා සහ එම්.එස්.කේ.පී.එම්.ජී. ශ්‍රී ලංකා යන සමාගම් වෙත අදාළ කොන්ත්‍රාත්තුව භාර දීමට නියමිත ය. මීට පෙර ද ශ්‍රී ලංකා මහ බැංකුවේ වෝහාරික විගණන කටයුතු සඳහා ජාත්‍යන්තර පළපුරුද්දක් සහිත ආයතනවල සේවය ලබා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබිණි. මේ අතර මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ මෙහෙයුම් කටයුතු වැඩි දියුණු කිරීම සඳහා වූ යෝජනා ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මෙහි මෙහෙයුම් කටයුතු සඳහා ඉන්දියානු ගුවන් සේවා අධිකාරිය විසින් ඉදිරිපත් කළ යෝජනා පිළිබඳව පරීක්ෂා කර බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කරන ලද සාකච්ජා සම්මුති කමිටුවක් හා ඊට සහය වීම සඳහා ව්‍යාපෘති කමිටුවක් පත් කිරීමට ද මීට පෙර අනුමැතිය හිමි විය. එම කමිටුව විසින් සිය නිර්දේශ ඇතුළත් කරමින් සකස් කර ඇති වාර්තාවට අනුව ඉදිරි මෙහෙයුම් කටයුතු සිදු කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ, මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ ප්‍ර‍වාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග යන මහත්වරුන් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.