by Staff writer 07-03-2019 | 7:46 PM
COLOMBO (News 1st) - මන්නාරම සමූහ මිනී වළෙන් හමු වූ මිනිස් අස්ථි කොටස් මීට වසර 350 - 600 අතර කාලයේ මිය ගිය පුද්ගලයින් පිරිසකගේ බව කාබන් කාලනීර්ණ වාර්තාව අනුව හෙළිවී තිබේ.
මන්නාරම සමූහ මිනී වළෙන් ලබා ගත් අස්ථි කොටස් 5ක් සහ එක් දතක් කාබන් 14 කාලනීර්ණය සඳහා අමෙරිකාවේ බීටා ඇනලිටික් පර්යේෂණ විද්‍යාගරය වෙත යොමු කර තිබිණි.
මන්නාරම සමූහ මිනී වළ සම්බන්ධයෙන් අමෙරිකාවේ බීටා ඇනලිටික් ආයතනය නිකුත් කළ කාබන් වාර්තාව පසුගියදා මන්නාරම මහේස්ත්‍රාත් ටී. සරවනරාජා මහතාට භාර දුන්නේ ය.
එම පරීක්ෂණ වාර්තාවේ කරුණු සහ කාබනික කාලනීර්ණය පිළිබඳව අප කොළඹ විශේෂඥ අධිකරණ වෛද්‍ය රුහුල් හක් මහතාගෙන් පැහැදිලි කිරීමක් ලබා ගත්තේ ය.
මිනිස් අස්ථි කොටස් සහ දත ක්‍රි.වර්ෂ 1400 ත් 1650 ත් අතර කාලයට අයත් බවට අමෙරිකාවේ බීටා ඇනලිටික් පර්යේෂණ විද්‍යාගරය නිකුත් කළ වාර්තාවේ සඳහන් ය.
මේ අනුව මන්නාරම සමූහ මිනී වළෙන් හමු වූ මිනිස් අස්ථි කොටස් වසර 350 ත් 600ත් අතර කාලයකට පෙර මිය ගිය පුද්ගලයින්ගේ බවට තහවුරු වී තිබේ.
කාබන් කාලනීර්ණය යනු පුරාවිද්‍යා කැණීම්වලදී හමු වන අස්ථි කැබලි, ශාක කොටස් ආදිය කවර කාලයකට අයත් දැයි නිර්ණය කර ගැනීමේ ක්‍රමවේදයයි.
පසුගිය වසරේ මාර්තු මාසයේදී මන්නාරම සතොස ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා පොළව කැණීමේදී අස්ථි කොටසක් සොයා ගැනීමත් සමග එම ස්ථානයේ කැණීම් ආරම්භ කෙරිණි.
මේ වන විට එම ස්ථානයෙන් ඇටසැකිළි 355ක් සොයා ගෙන තිබේ.