ආණ්ඩුව අයවැයෙන් ජනතාව ඇන්දුවා ද?

ආණ්ඩුව අයවැයෙන් ජනතාව ඇන්දුවා ද?

by Staff writer 07-03-2019 | 8:31 PM
COLOMBO (News 1st) - අයවැයට පැය 24කට පෙර දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා යෝජිත අයවැය පිළිබඳව පුවත්පතකට අදහස් පළ කර තිබිණි. ඔහු ලංකාදීප පුවත්පත සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී පවසා ඇත්තේ නැති ආදායමක් ද, සත්‍ය වියදම්වලට වඩා අඩු වියදමක් ද මවා පෙන්වන දත්ත සෙල්ලමක් බවට අයවැය පත්ව ඇති බව ය. සත්‍ය දත්ත රටට හෝ ජනතාවට හෙළිදරව් නොකරන අතර එය කාලයක් තිස්සේ අයවැයේදී සිදු වන සෙල්ලමක් බව මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දුන්නේ ය. මවාපාන දත්ත වාර්තා හා සත්‍ය යථාර්ථය අතර පරතරය අනුව, මෙරට ආර්ථික අර්බුදය අප සිතනවාටත් වඩා නරක එකක් යැයි තමා අදහස් කරන බව ද එම්.ඒ සුමන්දිරන් මහතා මෙහි අවධාරණය කර තිබේ. නමුත් පාර්ලිමේන්තුවේදී අයවැය සම්බන්ධයෙන් අදහස් පළ කළ සුමන්දිරන් මන්ත්‍රීවරයා එදා පෙන්වා සිටි ප්‍රබල විරෝධය වෙනුවට අද දක්වා සිටියේ දියාරු ප්‍රතිචාරයකි.
එම්.ඒ. සුමන්දිරන් - පා.ම. දෙමළ ජාතික සන්ධානය "අයවැය ලේඛනය සම්බන්ධයෙන් පොදුවේ ලැබී ඇති ප්‍රතිචාරය ධනාත්මකයි. අපි හිතනවා මේ අයවැය ලේඛනය වගකීම් සහගතව ඉදිරිපත් කරලා තියෙනවා රට මුහුණ දෙන ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින්. උතුරේ සංවර්ධනය සඳහා අරමුදලක් ඇති කිරීම සම්බන්ධයෙන් අපි ස්තුතිවන්ත වෙනවා. උතුරු හා නැගෙනහිර යුද්ධයෙන් බලපෑම් එල්ල වුණු ප්‍රදේශ වෙනුවෙන් මේක අපි කාලයක් තිස්සේ ඉල්ලපු දෙයක්. එහෙත් අවාසනාවන්ත ලෙස මේ පිළිබඳ වැඩි උනන්දුවක් දැක්වූයේ නැහැ. එහෙත් ඊයේ අපි සාකච්ඡාවක් පැවැත්වුවා. මම කියන්න ඕනේ මේ සම්බන්ධයෙන් තිබුණ ආකල්පය වෙනස් වෙලා තියෙනවා. පේන විදිහට දැන් ඔවුන් සහයෝගයෙන් කටයුතු කරනවා. මුදල් අමාත්‍යවරයා අයවැය දිරිපත් කරන්නේ ආර්ථික දැක්මකින්. නමුත් මේ පොත්වල එවා ගිණුම්කරණ ක්‍රමවේදය අනුවයි. මේ දෙක සසදන්න පහසු නැහැ. ඒ හින්දා ඇත්තටම ක්‍රියාත්මක වන දේ මීට හාත්පසින්ම වෙනස් දෙයක් වෙන්න පුළුවන්. අයවැය ඉදිරිපත් කිරීම හා ක්‍රියාත්මක වීම අතර ලොකු වෙනසක් තියෙනවා. මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අපිට තියෙන මූල්‍යමය හැකියාව ඉතාම අඩු මට්ටමක පවතින්නේ. මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න අවශ්‍ය මුදල් ප්‍රමාණයෙන් භාගයක්වත් අපිට නෑ. අපිට තියෙන බය නම් මෙම යෝජනාවලින් 20%වත් ක්‍රියාත්මක කර ගන්න පුළුවන් වෙයි ද කියන එකයි. ඇමතිතුමා විසින් ඉදිරිපත් කරපු ව්‍යපෘති ගණනාවකට විසර්ජන පනතින් හෝ අයවැය ඇස්තමේන්තුවලින් ප්‍රතිපාදන නැහැ. මේ වියදම්වලට මුදල් කෙහෙන්ද මේ තත්ත්වය වෙනස් වෙන්න ඕනේ."