'අලි රොෂාන්' ඇතුළු විත්තිකරුවන් 07 දෙනා නිදහස්

'අලි රොෂාන්' ඇතුළු විත්තිකරුවන් 07 දෙනා නිදහස්

by Staff writer 07-03-2019 | 11:26 AM

COLOMBO (News 1st) - නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව අලි ඇතුන් 04 දෙනෙකු සන්තකයේ තබා ගැනීම ඇතුළු අධිචෝදනා 24 න් ප්‍රකට අලි ඇතුන් ජාවාරම්කරුවෙකු යැයි කියන සමරක්කුලිගේ නිරාජ් ප්‍රසාන් හෙවත් 'අලි රොෂාන්' ඇතුළු විත්තිකරුවන් 07 දෙනා නිදහස් කිරීමට කොළඹ විශේෂ මහාධිකරණය අද නියෝග කර තිබේ.

ඒ, විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබු අධිචෝදනා පත්‍රය ප්‍රතික්ෂේප කරමිනි. අධිචෝදනා විභාග කිරීමට විශේෂ මහාධිකරණයට අධිකරණ බලයක් නොමැති බව පෙන්වා දෙමින් විත්තියේ නීතිඥවරුන් ගොනු කර තිබු මූලික විරෝධතාව පිළිගත් සම්පත් අබේකොන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකි රාජරත්න යන විනිසුරු මඩුල්ල එම නියෝගය කළහ. සැකකරුවන්ට පනවා තිබු විදේශ ගමන් වැළැක්වීමේ නියෝගය ඉවත් කිරීමට ද නියෝග කළ විනිසුරු මඩුල්ල එම අධිචෝදනා පත්‍රය විශේෂ මහාධිකරණය හමුවේ ගොනු කිරීමට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම චෝදනා සම්බන්ධයෙන්ම විත්තිකරුවන් 07 දෙනාට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඇතුළු මහේස්ත්‍රාත් අධිකරණ 04 ක් හමුවේ පවරා ඇති නඩුවට තම අධිකරණය අද දින නිකුත් කළ නියෝගය බලාත්මක නොවන බව පෙන්වා දුන්නේ ය. එම නඩු ගොනු හා නඩු භාණ්ඩ අදාළ මහේස්ත්‍රාත් අධිකරණ වෙත අපසු යැවීමට පියවර ගන්නා ලෙසට නියෝග කළ විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර තම අධිකරණයට එවා ඇත්තේ, එම මහේස්ත්‍රාත් අධිකරණ මගින් නම් ඒවා ද ආපසු යවන ලෙසට ද නියෝග කර ඇත. ඒ අනුව එම නඩු කටයුත්ත විශේෂ මහාධිකරණය හමුවේ විභාග කිරීම අද අවසන් කෙරුණි. කෙසේවෙතත් විත්තිකරුවන් 07 දෙනාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ එක් ව හෝ වෙන් වෙන්ම අධිචෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණයට දැනුම් දුන්නේ ය. 'අලි රෝෂාන්' නැමැත්තාට එරෙහිව ඔහුගේ සහෝදරයෙකුත් වනජීවි දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වන උපාලි පද්මසිරි මහතාත්, වනජීවි දෙපාර්තමේන්තුවේ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ ලේඛන භාරව සිටි ලිපිකාරිනි ප්‍රියංකා සංජීවනි ඇතුළු 07 දෙනෙකුට එරෙහිව අධිචෝදනා 24 ක් යටතේ නීතිපතිවරයා විසින් පසුගිය වසරේ ඔක්තොබර් 11 වැනි දා විශේෂ මහාධිකරණය හමුවේ එම නඩුව පවරා තිබුණි.