මධුෂ් හසු වීමත් සමග කොටු වූ මත්ද්‍රව්‍ය තොග

මධුෂ් හසු වීමත් සමග කොටු වූ මත්ද්‍රව්‍ය තොග

by Staff writer 06-03-2019 | 1:46 PM
COLOMBO (News 1st) - ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල නායකයෙකු වන මාකදුරේ මධුෂ් ඇතුළු 31 දෙනෙකු පසුගිය මස 4 වන දා ඩුබායිහි හෝටලයක පැවති උපන්දින සාදයක් අතරතුර දී අත්අඩංගුවට පත් විය. අත්අඩංගුවට පත් වූවන් අතර කන්චිපානි ඉම්රාන්, කෙසෙල්වත්තේ දිනුක ඇතුළු පිරිසක් සිටින බව පොලීසිය සඳහන් කළේ ය. ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා, ඔහුගේ පුත් නදීමාල් පෙරේරා සහ රංගන ශිල්පී රයන් වැන් රෝයන් යන අය ද ඒ අතර වෙති. මෙම පිරිස අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බවට එරට පොලීසිය සිදු කළ රුධිර පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. සිද්ධියත් සමග මෙරට පොලීසිය ද ක්‍රියාත්මක වෙමින් මාකදුරේ මධුෂ්ට සහය දැක්වූ පුද්ගලයින් පිළිබඳව විමර්ශන සිදු කළ අතර අමල් පෙරේරාගේ සහ රයන් වැන් රෝයන්ගේ නිවෙස් ද පොලිස් පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී කොකේන් භාවිත කිරීමට උපයෝගී කර ගන්නා උපකරණ කිහිපයක් අමල් පෙරේරා මහතාගේ නිවසෙන් හමු වී ඇති අතර මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදා ගන්නා බවට සැක සහිත ගමන් මල්ලක් සහ මත්ද්‍රව්‍ය මැනීම සඳහා යොදා ගන්නා ඩිජිටල් තරාදියක් රයන් වැන් රෝයන්ගේ නිවසෙන් හමු විය. අනතුරුව පසුගිය මස 9 (පෙබරවාරි) වන දා රයන් වැන් රෝයන් මහතා භාවිත කළ මෝටර් රථයක් මිරිස්ස, උඩුපිල ප්‍රදේශයේ හෝටලයකදී පොලීසිය සිය භාරයට ගත්තේ ය. එම මෝටර් රථය සොයා ගත්තේ, මධුෂ් සමග අත්අඩංගුවට පත් වූ අමිල ප්‍රසන්න හෙට්ටිහේවා නොහොත් සන් ෂයින් සුද්දා නමැත්තාට අයත් හෝටලයකදී ය. පොලීසිය දිගින් දිගටම සිදු කළ මෙහෙයුම්වලදී මධුෂ්ගේ සහයකයෙකු වන වෙඩිකන්දේ කසුන් අත්අඩංගුවට පත් විය. ඔහු 2018 වසරේ නොවැම්බර් 05 වන දින මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ නිවසකට පොලිස් නිලධාරීන් ලෙස ඇතුළු වී නිවෙස් හිමියන්ට ගිනිඅවියකින් පහර දී මැණික් සහ දියමන්ති කොල්ල කෑමේ සිද්ධියට සම්බන්ධ අයෙකුයි. කෙසේ වෙතත් අදාළ දියමන්තිය බවට සැක කරන දියමන්තියක් පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී සොයා ගැනිණි. පොලීසිය පාතාලයට හා මත්ද්‍රව්‍යවලට එරෙහිව දිගින් දිගටම වැටලීම් සිදු කරද්දී පසුගිය මස 5 (පෙබරවාරි) වන දා හෙරොයින් කිලෝග්‍රෑමයක් සමග සැකකරුවෙකු මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තේ ය. අදාළ හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටියකට අධික ය. මීගමුව, පෝරාතොට ප්‍රදේශයේදී රුපියල් කෝටි 10කට අධික මත්ද්‍රව්‍ය සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු පසුගිය මස 22 (පෙබරවාරි) වන දා අත්අඩංගුවට පත් විය. මීගමුව කොට්ඨාස දූෂණ මර්දන ඒකකය සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට පත් විණි. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හෙරොයින් කිලෝග්‍රෑම් 4කට අධික ප්‍රමාණයක් සහ ඈෂ් නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 03යි ග්‍රැම් 655ක් සොයා ගැනිණි. මේ අතර පසුගියදා මෙරටින් සොයා ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය කොල්ලුපිටිය, සුපිරි වෙළෙඳ සංකීර්ණයක රථ ගාලකින් සොයා ගත්තේ ය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධ ක්‍රියාත්මක කළ මෙහෙයුමකින් සොයා ගත් එම හෙරොයින් තොගයේ බර කිලෝග්‍රෑම් 294 යි ග්‍රෑම් 490කි. එහි වටිනාකම රුපියල් මිලියන 2945කට අධික ය. රුපියල් කෝටි 7කට අධික වටිනා කමින් යුත් කොකේන් තොගයක් සමග බොලිවියානු ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ඊයේ (05) අත්අඩංගුවට ගත්තේ ය. සැකකරු සන්තකයේ තිබූ කොකේන් ප්‍රමාණය කිලෝග්‍රෑම් 5කි.