"ජනපතිවරණයකට පෙර මහ මැතිවරණයක් පැමිණිය හැකියි"

පවතින ආණ්ඩුවේ ක්‍රියාකාරකම් නිසා ප්‍රථමයෙන්ම මහ මැතිවරණයක් පැමිණිය හැකියි - ජනපති

by Staff writer 06-03-2019 | 9:55 AM
COLOMBO (News 1st) - සිය ගැටලු විසඳා ගැනීමට ශ්‍රී ලංකාවටම අවස්ථාව ලබා දෙන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක් කිරීම සඳහා නියෝජිතයින් 3 දෙනෙකු ජිනීවා නුවරට පිටත් කර යවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. අද පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවෙමින් ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ ආචාර්ය සරත් අමුණුගම, මහින්ද සමරසිංහ සහ ආචාර්ය සුරේන් රාගවන් යන මහත්වරුන් ඒ සඳහා යොමු කරන බව ය. පළමුව ජනාධිපතිවරණය පැමිණිය හැකි වුවත්, පවතින ආණ්ඩුවේ ක්‍රියාකාරකම් දෙස බැලීමේදී ප්‍රථමයෙන් මහ මැතිවරණයක් පැමිණිය හැකි බව ද ජනාධිපතිතුමා පවසයි. එහිදී ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ, මෙය මැතිවරණ වසරක් බව ය. මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා ලොව උසස්ම තාක්ෂණය ලබා ගැනීමට ආයෝජනය කරන බව ද ජනාධිපතිතුමා එහිදී ප්‍රකාශ කළේ ය. ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ, බොහෝ නිලධාරීන්ට අසාධාරණ ලෙස සැලකුම් කෙරෙන බැවින් පොලිස් දෙපාර්තමේන්තුව පූර්ණ ලෙස ප්‍රතිව්‍යුහගත කළ යුතු බව ය. වසර ගණනාවක් පොලිස් දෙපාර්තමේන්තුව භාරව තිබූ අමාත්‍යංශ, පොලීසිය දේශපාලනීකරණය කර ඇති බව ද ජනාධිපතිතුමා මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවේ ප්‍රකාශ කළේ ය. ජනාධිපතිතුමා අවධාරණය කළේ, එය වහාම වෙනස් කළ යුතු බව ය. පොලිස් නිලධාරීන් පැය 8ක සේවා කාලයක නිරත වීම ඉතා විරළ බවත්, ඔවුන් ඇතැම් විට ආහාර හෝ ජලය නොමැතිව පැය 12කට වඩා වැඩි කාලයක් සේවය කරන බවත් ජනාධිපතිතුමා පැවසුවේ ය. එබැවින් පොලිස් දෙපාර්තමේන්තුව තමා පූර්ණ ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කරන බවත්, නිලධාරිනියන්ගේ දුක් ගැනවිලි වෙනමම සොයා බලන බවත් එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ ය. ජනාධිපතිවරයා සඳහන් කළේ, දෙමළ භාෂාව කතා කරන පොලිස් නිලධාරීන් සංඛ්‍යාව ඉහළ නංවන බව ය. පොලිස් දෙපාර්තමේන්තුව නිර්දේශපාලනීකරණය කර ජනතාවට වඩා හොඳින් සේවය කරන නූතන පොලීසියක් බවට එය පරිවර්තනය කරන බව ද ජනාධිපතිතුමා පැවසුවේ ය.