අල්ලාගත් මත්ද්‍රව්‍ය අප්‍රේල් 1 වැනිදා විනාශ කරනවා

අත්අඩංගුවට ගත් සියලු මත්ද්‍රව්‍ය තොගය අප්‍රේල් 01 වැනි දා විනාශ කරන බව ජනපති කියයි

by Staff writer 06-03-2019 | 6:15 PM

COLOMBO (News 1st) - මෙතෙක් අත්අඩංගුවට ගත් සියලු නීති විරෝධි මත්ද්‍රව්‍ය අප්‍රේල් 01 වැනි දා විනාශ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමු වූ අවස්ථාවේදී ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ, විනිසුරුවරුන් හා පොලිස් නිලධාරීන් ඉදිරියේදී කටුනායකදී එම මත්ද්‍රව්‍ය විනාශ කෙරෙන බවයි. එමෙන්ම මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැලකෙන බවට රටම එක් ව අප්‍රේල් 03 වැනි දා - බක්මහ දිවුරුම - නමින් වැඩ සටහනක් සංවිධානය කෙරෙන බව ද ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළේ ය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ, එදින පෙරවරු 8.00 ට කොළඹ නිදහස් චතුරඝ්‍රයට සියලු මැති ඇමතිවරුන්ට හා පක්ෂ නායකයින්ට ආරාධනා කරන බවයි. නීති විරෝධි මත්ද්‍රව්‍ය හඳුනා ගැනීම පිළිබඳ භාවිත කරන නවීන තාක්ෂණික උපකරණ ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා මේ වනවිට මිල ගණන් කැඳවා ඇති බවත්, තව ත් මාස කිහිපයකින් එම උපකරණ මෙරටට ලබා ගැනීමට හැකිවනු ඇති බවත් ජනාධිපතිතුමා මෙම හමුවේදී ප්‍රකාශ කළේ ය. මෙහිදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේදැයි විමසූ විට ජනාධිපතිතුමා සඳහන් කළේ, අනිවාර්යෙන්ම එම තීන්දුව ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවයි. කිසිදු බලපෑමකින් තොරව මත්ද්‍රව්‍යවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නිලධාරීන්ට අවස්ථාව සලසා ඇතැයි ද ජනාධිපතිතුමා මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවේ අවධාරණය කළේ ය. මේ අතර සිය ගැටලු විසඳා ගැනීමට ශ්‍රී ලංකාවටම අවස්ථාව ලබාදෙන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක් කිරීම සඳහා නියෝජිතයින් තිදෙනෙකු ජිනීවා නුවරට පිටත්කර යවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ, ආචාර්ය සරත් අමුණුගම, මහින්ද සමරසිංහ සහ ආචාර්ය සුරේන් රාගවන් යන මහත්වරුන් ඒ සඳහා යොමු කරන බවයි. පළමුව ජනාධිපතිවරණය පැමිණිය හැකි වූවත්, පවතින ආණ්ඩුවේ ක්‍රියාකාරකම් දෙස බැලීමේදී ප්‍රථමයෙන් මහ මැතිවරණයක් පැමිණිය හැකි බව ද ජනාධිපතිතුමා පවසුවේ ය. එහිදී ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ, මෙය මැතිවරණ වසරක් බවයි. මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා ලොව උසස්ම තාක්ෂණය ලබා ගැනීමට ආයෝජනය කරන බව ද ජනාධිපතිතුමා එහිදී ප්‍රකාශ කළේ ය. ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ බොහෝ නිලධාරීන්ට අසාධාරණ ලෙස සැලකුම් කෙරෙන බැවින් පොලිස් දෙපාර්තමේන්තුව පූර්ණ ලෙස ප්‍රතිව්‍යුහගත කළ යුතු බවයි. වසර ගණනාවක් පොලිස් දෙපාර්තමේන්තුව භාරව තිබූ අමාත්‍යංශ, පොලීසිය දේශපාලනීකරණ කර ඇති බව ද ජනාධිපතිතුමා මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවේ ප්‍රකාශ කළේ ය. ජනාධිපතිතුමා අවධාරණය කළේ, එය වහාම වෙනස් කළ යුතු බවයි. පොලිස් නිලධාරීන් පැය 8 ක සේවා කාලයක නිරතවීම ඉතා විරල බවත්, ඔවුන් ඇතැම් විට ආහාර හෝ ජලය නොමැතිව පැය 12 කට වඩා වැඩි කාලයක් සේවය කරන බවත් ජනාධිපතිතුමා පැවසුවේ ය. එබැවින් පොලිස් දෙපාර්තමේන්තුව තමා පූර්ණ ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කරන බවත්, නිලධාරිනියන්ගේ දුක් ගැනවිලි වෙනමම සොයා බලන බවත් එහිදී ජනාධිපතිතුමා කියා සිටියේ ය. ජනාධිපතිතුමා සඳහන් කළේ, දෙමළ භාෂාව කතා කරන පොලිස් නිලධාරීන් සංඛ්‍යාව ඉහළ නංවන බවයි. පොලිස් දෙපාර්තමේන්තුව නිර්දේශපාලනීකරණය කර ජනතාවට වඩා හොඳින් සේවය කරන නූතන පොලීසියක් බවට එය පරිවර්තනය කරන බව ද ජනාධිපතිතුමා පැවසුවේ ය.