අංගම්පොර සටන් ක්‍රමය නීතිගත කිරීමට කැබිනට් අනුමැතිය

by Staff writer 06-03-2019 | 3:07 PM

COLOMBO (News 1st) - 1818 ඌව වෙල්ලස්ස සටනින් පසු තහනමට ලක් වූ ශ්‍රී ලංකාවේ දේශීය සටන් ශිල්ප ක්‍රමයක් වන අංගම්පොර සටන් ක්‍රමය නීතිගත කිරීමට කැබිනට් අනුමැතිය හිමි ව තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ මැදිහත්වීමෙන් කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත. ජනප්‍රවාදයන්ට අනුව අංගම් සටන් කලාව වසර 30,000 කට එහා ඉතිහායකට උරුමකම් කියන්නකි. ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක සාධකවලට අනුවත් මෙරට අංගම්පොර සටන් කලාවට වසර 2500 කට එහා ඉතිහාසයක් පවතින බවට පැහැදිලිව සනාථ වී ඇත. 1815 ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයට යටත්වීමෙන් පසුව මෙරට අංගම්පොර කලාව පරිහානියට පත් වූ අතර එහි කාර්යක්‍ෂමතාව සහ භයානකකම වටහාගත් ඉංග්‍රීසීන් ඉපැරණි අංගම්පොර ගුරු කුලයන් සහ පාරම්පරික අංගම් ශීල්පීන් සමූල ඝාතනය කිරීමට ද කටයුතු කළහ. කෙසේවෙතත් ඌව වෙල්ලස්සේ විහාරස්ථාන සහ මරගල කදුපංතිය කේන්ද්‍රකරගනිමින් අංගම් සටන්කරුවන් පුහුණු කිරීමට මෙරට භික්ෂුන් වහන්සේ සහ වෙල්ලස්ස සටන් නායකත්වය පියවර ගෙන තිබේ. ඉංග්‍රීසින් ගැසට් නිවේදනයක් මගින් මෙම ඓතිහාසික සටන් ශිල්පය තහනම් කිරීමට පියවර ගන්නේ ඒ හේතුවෙනි. අජන්ත මහන්ත ආරච්චි මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා ගුවන් හමුදා අංගම්පොර කණ්ඩායම සිරස ගොට් ටැලන්ට් ශූරතාව දිනා ගැනීමත් සමග ලොවපුරා අවධානය මෙම සටන් කලාව වෙත යොමුවිය.