2019 අයවැය පාර්ලිමේන්තුවට: යුග දිවියට එළැඹෙන නවක යුවළවල්වලට මංගලගේ අයවැයෙන් නිවාස ණය

by Staff writer 05-03-2019 | 4:45 PM
COLOMBO (News 1st) - ජනතාවට ශක්තිය , දුප්පතුන්ට රැකවරණය , එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා තේමාවෙන් අයවැය යෝජනා අද මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. මෙය ජාතික ආණ්ඩුව අවසන් වීමෙන් පසු පිහිටවූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ පළමු අයවැයයි. මේ අද ඉදිරිපත් කළ අයවැය යෝජනා කිහිපයක්... 1. රාජ්‍ය සේවක වැටුපට ජුලි පළමු වන දා සිට රුපියල් 2500 ක දීමනාවක්. 2. විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කර, ජුලි මස 01 වන දා සිට වැඩි ප්‍රතිලාභ හිමිවන පරිදි සංශෝධන. 3. කමාන්ඩෝ දීමනාව රුපියල් 1000 සිට 5000ක් දක්වා ඉහළ දැමීම. 4. හමුදා නිලධාරීන් සඳහා කුලී නිවාස දීමනාව 100%කින් ඉහළ දැමීම. 5. අලුත විවාහවන්නන් සඳහා හෝම් ස්වීට් හෝම් නිවාස ණය යෝජනා ක්‍රමයෙන් 6%ක පොළී අනුපාතයක් යටතේ වසර 25කින් ගෙවා දැමිය හැකි රුපියල් මිලියන 10ක ණයක්. 6. විදේශගත වූ ශ්‍රමිකයින්ට සිහින මාළිගා නමින් රුපියල් මිලියන 10ක උපරිමයක නිවාස ණය යෝජනා ක්‍රමයක්. එම ණය යෝජනා ක්‍රමය වසර දෙකක සහන කාලයක් සමග අවුරුදු 15කින් ගෙවා දැමිය හැකියි. 7. උසස් පෙළ ඉහළ ම සාමාර්ථ ලබා ගන්නා සිසුන් 14 දෙනෙකුට ලොව පිළිගත් විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීමට ශිෂ්‍යත්ව. 8. උසස් පෙළ සමත්, රාජ්‍ය විශ්වවිද්‍යාල වරම් අහිමි වන දරුවන් සඳහා උසස් අධ්‍යාපනය ලැබීමට රුපියල් ලක්ෂ 11ක උපරිමයකට යටත්ව පොළී රහිත ණය. 9. විද්‍යුත් ත්‍රිරෝද රථ හා කුඩා මෝටර් රථ මිලදී ගැනීමේ ණය පොළියෙන් 75% ක් රජය දැරීමට යෝජනා. 10. සිටි රයිඩර් ණය යෝජනා ක්‍රමය යටතේ පෞද්ගලික අංශයට සූඛෝපභෝගී බස් රථ 1000ක් ආනයනයට අවස්ථාව. 11. කල් බදු ක්‍රමයට කුලී පදනම මත ප්‍රධාන මාර්ග 4ක දුම්රිය මැදිරි පෞද්ගලික අංශයට ලබා දීමට යෝජනා. 12. පොදු ජනතාවගේ සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීමට මෙවර අයවැයෙන් අවධානය. 13. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ඇප සුරැකුම් ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ රුපියල් මිලියන 500 ක අරමුදලක්. 14. කුඩා ට්‍රක් රථ මත පනවා ඇති නිෂ්පාදන බදු පහළට. 15. මාස 03 ක ප්‍රසූත නිවාඩු ලබා දෙන පෞද්ගලික ආයතනවලට බදු සහන. 16. එම කාල සීමාව මාස 4ක් වන්නේ නම් අදාළ ආයතනයට 4 වන මාසය සඳහා 100%ක බදු සහනයක්. 17. විශේෂ අවශ්‍යතා ඇති අයට රැකියා අවස්ථා ලබා දෙන පෞද්ගලික ආයතනවලට ඔවුන්ගේ වැටුප් ගෙවීම සඳහා රුපියල් 15,000ක උපරිමයකට යටත්ව වසර 2ක කාලයක් සඳහා 50%ක් ආණ්ඩුව විසින් දැරීමට යෝජනා. 18. විශේෂ අවශ්‍යතා ඇති අයට ලබා දෙන මාසික දීමනාව රුපියල් 2000 කින් වැඩි කෙරේ. 19. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින රැඳවියන් පුනරුත්ථාපනය සඳහා මධ්‍යස්ථාන දෙකක්. (වීරවිල සහ අඹේපුස්ස) 20. රක්ෂිත බන්ධනාගාරගතව සිටින කාන්තාවන්ගේ වෘත්තීය කුසලතා ඉහළ නැංවීමට ද පුහුණු ආයතනයක්. 21. සුවසැරිය ගිලන් රථ සේවාව දීප ව්‍යාප්ත කිරීමට රුපියල් මිලියන 600ක්. 22. වකුගඩු රෝගීන්ට නිවසේදී භාවිත කළ හැකි රුධිර කාන්දුකරණ යන්ත්‍ර නොමිලේ ලබා දීමට පියවර. 23. සමෘද්ධි සහනාධාර වැඩපිළිවෙළට තවත් 6 ලක්ෂයක් එක් කර ගැනීම සඳහා රුපියල් මිලියන 10,000 ක්. 24. සමෘද්ධි ප්‍රතිලාභීන්ට ඉතුරුම්වලින් රුපියල් 30,000 ක් වාරික දෙකකින් ලබා ගැනීමට පහසුකම්.
  • අප්‍රේල් මාසයේ පළමු වාරිකය.
  • දෙවන වාරිකය නොවැම්බර් මාසයේදී.
25. කලාකරුවන්ට ඔවුන්ගේ නිර්මාණ වෙනුවෙන් ලැබෙන රුපියල් 50000 දක්වා වන ආදායම බදුවලින් නිදහස්. 26. ආගමික ස්ථාන නවීකරණය සඳහා ලබා දුන් රුපියල් ලක්ෂ 5ක මුදල ලක්ෂ 10 දක්වා ඉහළ දැමීමට යෝජනා. 27. ගම්පෙරළිය වැඩසටහනය රුපියල් මිලියන 48000ක්.