ඉන්දියාවට දුන් GSP සහනය කපා හැරීමේ සූදානමක්

ට්‍රම්ප් ඉන්දියාවට දුන් GSP සහනය කපා හැරීමට සැරසෙයි

by Staff writer 05-03-2019 | 12:09 PM
COLOMBO (News 1st): ඉන්දියාවට ලබාදුන් GSP සහනය නවතා දැමීමට අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම් වේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සිය තීරණය දැනුම් දෙමින් ට්‍රම්ප් එරට සෙනෙට් සභාවේ සභාපතිවරයාට සහ පාර්ලිමේන්තුවේ කථානායකවරියට ලිපියක් යවා ඇති බවයි. වරණීය තීරු බදු සහනය හෙවත් GSP සහනය නිසා ඉන්දියාව වර්ෂයකට ඇමරිකානු ඩොලර් බිලියන 5.6 ක භාණ්ඩ අමෙරිකාවට අපනයනය කළේ ය. ඉන්දියානු භාණ්ඩ 3500 කට මෙම බදු සහනය බලපැවැත්විණ. ඉන්දියාව වෙළෙඳ ගනුදෙනුවලදී ඇමරිකාවට සාධාරණ හා සමාන අවස්ථාවක් ලබාදීම සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි නිසා මෙම තීරණය ගත් බව ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු සඳහන් කරන්නේ, ඉන්දීය රජය සමග මේ සම්බන්ධයෙන් පසුගිය සමයේ පැවැත්වූ සාකච්ඡා සාර්ථක නොවූ බවයි. වෙළෙඳ කටයුතු සහ බදු පැනවීම සම්බන්ධයෙන් චීනය සහ අමරිකාව අතර පසුගිය සමයේ මතභේදයක් නිර්මාණය වූ අතර එය විදෙස් මාධ්‍ය වෙළෙඳ යුද්ධයක් ලෙසද හදුන්වා දුන්නා. එය ආරම්භ වූයේ චීන නිෂ්පාදනවලට ඇමරිකාව අධික බදු පැනවූ අතර චීනය ද එම ක්‍රියාමාර්ගයම අනුගමනය කරමින් අමරිකානු නිෂ්පාදනවලට බදු පැනවීමත් සමගයි. මෙම මතභේදය සමතයකට පත්කර ගැනීම සඳහා ඇමරිකාව සහ චීනය අවධානය යොමුකරමින් සිටින පසුබිමක ඉන්දියාවට ලබාදුන් බදු සහන ඉවත්කිරීම විශේෂත්වයකි. චීන, ඇමරිකා වෙළෙඳ අර්බුදය විසඳ ගැනීමේදී අධික වියදම් දරමින් අනෙකුත් රටවල් සමග සිදුකරන වෙළෙඳ ගනුදෙනු පිළිබඳව තීරණයක් ගැනීමට ට්‍රම්ප් පරිපාලනය අවධානය යොමුකර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. පසුගිය සඳුදා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය තීරණය සෙනෙට් සභාපතිවරයාට සහ පර්ලිමේන්තුවේ කථානායකවරියට දැනුම් දුන් අතර එය ක්‍රියාත්මක වන්නේ අවම වශයෙන් දින 60 කට පසුවයි.