රාජ්‍ය ආයතනවල දූෂණ හා වංචා ගැන පැමිණිලි 333ක්

රාජ්‍ය ආයතනවල දූෂණ හා වංචා ගැන පැමිණිලි 333ක්

by Staff writer 04-03-2019 | 8:34 AM
COLOMBO (News 1st) : රාජ්‍ය ආයතනවල සිදුවූ දූෂණ හා වංචා සම්බන්ධයෙන් පැමිණිලි 333ක් ලැබී ඇතැයි ඒ පිළිබඳ විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිෂන් සභාව පවසයි. එම කොමිසම සඳහන් කළේ, පැමිණිලි බාර ගැනීම මේ මස 7 වැනිදායින් අවසන් කෙරෙන බවයි. පසුගිය වසර 4 තුළ රාජ්‍ය ආයතනයවල දූෂණ ක්‍රියා, සාපරාධි විශ්වාසය කඩ කිරීම, දේපළ සාපරාධි පරිහරණය, රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස භාවිත කිරීම පිළිබඳව මහජන පැමිණිලි, තොරතුරු සහ සෙසු කරුණු කැඳවීම සහ ඒවා පුළුල් විමර්ශනයකට ලක් කිරීම විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති කොමිසමේ කාර්ය භාරයයි. ඒ සම්බන්ධයෙන් ලිඛිත පැමිණිලි හෝ තොරතුරු සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන්, ලේකම්, රාජ්‍ය ආයතනවල සිදුවී ඇතැයි කියන වංචා දූෂණ සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභාව, කාමර අංක 210, බ්ලොක් 02 දෙවැනි මහල, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ලිපිනයට යොමු කළ හැකියි. 0112 66 53 82 යන දුරකතන අංකය ඇමතීමෙන් ඒ පිළිබදව වාචික තොරතුරු ඉදිරිපත් කළ හැකියි.