බීට්ටු නිලධාරියා හා පොලිස් කොස්තාපල් රිමාන්ඩ්

රත්ගම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බීට්ටු නිලධාරියා සහ පොලිස් කොස්තාපල්වරයා රිමාන්ඩ්

by Staff writer 04-03-2019 | 5:29 PM

COLOMBO (News 1st) - රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බීට්ටු වන නිලධාරියා සහ පොලිස් කොස්තාපල්වරයා ලබන 13 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා නියෝග කර තිබේ.

ඒ, සැකකරුවන් අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට වලස්මුල්ල ප්‍රදේශයේ රක්ෂිතයක් භාරව සිටි බීට්ටු වන නිලධාරියෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ ය. දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ තව ත් පොලිස් කොස්තාපල්වරයෙකු අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පෙරේදා අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහු ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදීයි. පසුගිය ජනවාරි 23 වෙනි දා මංජුල අසේල හා රෂීන් චින්තක නැමැති රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැරගෙන ගොස් ඝාතනය කර සිරුරු පුළුස්සා දැමීම සම්බන්ධයෙන් දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන ඒකකයට චෝදනා එල්ලවී තිබේ.