විශේෂ පොලිස් කණ්ඩායමක් බංග්ලාදේශයට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ප්‍රශ්න කිරීමට පොලිස් කණ්ඩායමක් බංග්ලාදේශයට

by Staff writer 04-03-2019 | 7:18 AM
COLOMBO (News 1st) : දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවලින් පසුගිය වසරේ දෙසැම්බර් මාසය තුළ සොයා ගැණුනු මත්ද්‍රව්‍ය ජවාරම්වල ඉදිරි විමර්ශන සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් බංග්ලාදේශය බලා පිටත්ව ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනියුක්ත පොලිස් අධිකාරිවරයෙකු සහ පොලිස් පරීක්ෂකවරයෙකු එලෙස බංග්ලාදේශය බලා පිටත්ව ගිය බවයි. එම මත්ද්‍රව්‍ය ජවාරම්වලට සම්බන්ධ බංග්ලාදේශ ජාතිකයින් පස් දෙනෙකු පසුගිය දා බංග්ලාදේශයේදී අත්අඩංගුවට පත්විය. එම සැකකරුවන් සම්බන්ධයෙන් එරට පොලීසිය කළ පරීක්ෂණවල ප්‍රගතිය මෙම නිලධාරීන් මගින් සොයා බැලීමට නියමිතයි. විමර්ශන සඳහා ගිය මෙරට නිලධාරීන් එම සැකකරුවන්ගෙන් එරට බන්ධනාගාරයේදී ප්‍රශ්න කරන බව ද පොලීසිය ප්‍රකාශ කළේ ය. දින 5ක කාලයක් මෙම නිලධාරීන් එරට රැඳී සිටිමට නියමිත අතර එහිදී බංග්ලාදේශ පොලිස්පතිවරයා සහ මත්ද්‍රව්‍ය නාශක ඒකකයේ ප්‍රධානීයා ද හමුවීමට නියමිතව තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, මෙරට ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා බංග්ලාදේශ සහය ලබා ගැනීමට ද අවශ්‍ය සාකච්ඡා සිදුකරන බවයි. පසුගිය වසරේ දෙසැම්බර් මස 16 වන දා රුපියල් මිලියන 388ක් වටිනා හෙරොයින් තොගයක් සමග බංග්ලාදේශ තරුණියක් දෙහිවලදී අත්අඩංගුවට ගැනිණ. මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද තොරතුරක් මත කළ වැටලීමකදී ඇය අත්අඩංගුවට පත්වූවා ය. එම අවස්ථාවේ 23 හැවිරිදි සැකකාර තරුණිය සන්තකයේ තිබී සොයා ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 1කි. අනතුරුව ඇයගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී රත්මලාන ප්‍රදේශයේ නිවස සගවා තිබූ තවත් හෙරොයින් කිලෝග්‍රෑම් 31යි ග්‍රෑම් 329ක් සොයා ගැනිණ. සංචාරක විසා මත මෙරට රැඳී සිටිමින් සැකකාරිය වසර ගණනාවක සිට මෙම ජවාරම මෙහෙයවා ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය. මේ අතර පසුගිය වසරේ දෙසැම්බර් 31 වන දා දෙහිවල ප්‍රදේශයේදී කළ වැටලීමකදී මත්ද්‍රව්‍ය සමග බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට පත්විය. සැකකරුවන් සන්තකයේ තිබී පොලිස් භාරයට ගත් හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 278 කට ආසන්නයි. පොලීසිය සඳහන් කළේ, හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 3000 කට අධික බවයි. මේ අතර එම මෙහෙයුමේදී ම කොකේන් කිලෝග්‍රෑම් 05 ක් ද තම භාරයට ගත් බව පොලීසිය පැවසී ය.