ගම්මැද්දෙන් ව්‍යාපෘති 5ක වැඩ අරඹයි

සිරස FM 25 වන සංවත්සරයට සමගාමීව ගම්මැද්දෙන් ව්‍යාපෘති 5ක්

by Staff writer 02-03-2019 | 12:48 PM
COLOMBO (News 1st) - සිරස FM 25 වන සංවත්සරයට සමගාමීව නිව්ස්ෆස්ට් ගම්මැද්ද ව්‍යාපෘති 5ක් අද ආරම්භ කළේ ය. ඒ අනුව හැටන් රුවන්පුර ප්‍රදේශයේ සහ ත්‍රිකුණාමලය මොරවැව යාය 6 ප්‍රදේශයේ ජනතාව සඳහා ජල ව්‍යාපෘතියක් ලබා දීමට වැඩ ආරම්භ කෙරිණි. කතරගම ගෝතමීගම ප්‍රදේශයට ද ගම්මැද්ද ක්‍රියාන්විතය යටතේ ජල ව්‍යාපෘතියක් ලබා දීමට මුලපිරිණි. පුත්තලම ආනමඩුව ආත්තිකුලම ප්‍රදේශයේ පෙරපාසල් දරුවන් සිය අකුරු කරන ගොඩනැගිල්ල අබලන් වී තිබීම නිසා මහත් අපහසුතාවට පත්ව තිබේ. රටේ අනාගතය වන එම පුංචි දරුවන්ට අත්වැලක් වෙමින් ගම්මැද්ද ඔවුන්ගේ පෙරපාසල් ගොඩනැගිල්ල නවීකරණ කටයුතු කිරීමටත් යටිතල පහසුකම් ලබා දීමටත් වැඩ කටයුතු ආරම්භ කළේ ය. මාතර කේන්ද්‍ර කර ගනිමින් තවත් ගම්මැද්ද ව්‍යාපෘතියක් අද ක්‍රියාත්මක විය. වැලිගම පිටිදූව ප්‍රදේශයට පුස්තකාල ගොඩනැගිල්ලක් කලක සිට අඩුපාඩුවක්ව පැවතිණි. ඒ අනුව ගම්මැද්දෙන් එම පුස්තකාල ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා කටයුතු ආරම්භ කෙරුණේ අද පෙරවරුවේ ය. පිටිදූව විවේකාරාම විහාරස්ථානයේදී ව්‍යාපෘතිය සඳහා මුල්ගල් තැබිණි.