විශාලතම හෙරොයින් ජාවාරම පිටුපස ජාවාරම්කරුවන් 05 ක්

විශාලතම හෙරොයින් තොගය පිටුපස ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 05 දෙනෙක්...

by Staff writer 01-03-2019 | 8:25 PM

COLOMBO (News 1st) - කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගත් මහාපරිමාණ හෙරොයින් ජාවාරම පිටුපස ඩුබායි රාජ්‍යයට පළා ගොස් සිටින ඇන්තනි මයිකල් මොරින් සහ කොස්ගොඩ සුජි ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 05 දෙනෙකු සිටින බවට තොරතුරු හෙළිව තිබේ.

ඒ, පසුගිය 24 වන දා හෙරොයින් කිලෝග්‍රෑම් 290 ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමේදීයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් අද දින අධිකරණයට කරුණු වාර්තා කළ බවයි. කොල්ලුපිටියේදී හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබන 15 දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කළහ. ඒ, සැකකරුවන් කොටුව නිල නොවන වැඩ බලන මහේස්ත්‍රාත් නීතිඥ දිමනි බැද්දේවෙල මහත්මිය හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදී යි. මේ අතර ඉතාලියේ සිට ගුවන් මගින් මෙරටට හෂීස් මත්ද්‍රව්‍ය එවීමේ ජාවාරමක් හෙළිකර ගැනීමට පොලීසිය සමත්ව තිබේ. පොලීසිය සඳහන් කළේ, විදුලි උපකරණවල සඟවා භාණ්ඩ ප්‍රවාහන සේවාවක් ඔස්සේ මෙම මත්ද්‍රව්‍ය මෙරටට එවා ඇති බවයි. සොයා ගෙන ඇති හෂීස් මත්ද්‍රව්‍ය තොගයේ බර ග්‍රෑම් 600 ක්. ඒවා කුලියාපිටිය හා මීගමුව ප්‍රදේශවලට පුද්ගලයින්ගේ නමට එවා ඇති බව පරීක්ෂණවලදි හෙළිව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 3කි.