ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන ණය වැඩසටහන තවත් වසරකින් දීර්ඝ කෙරේ

by Staff writer 01-03-2019 | 11:50 AM
COLOMBO (News 1st) - ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමග ක්‍රියාත්මක කරන ණය වැඩසටහන තවත් වසරකින් දීර්ඝ කිරීමට එකඟතාව පළ කර තිබේ. රොයිටර් පුවත් සේවය වාර්තා කළේ, 2016දී ශ්‍රී ලංකාවට අනුමත කළ ඩොලර් බිලියන 1.5ක තුන් අවුරුදු ණය වැඩසටහන තවත් වසරකින් දීර්ඝ කිරීමට එකඟ වී ඇති බව ය. මේ අතර ණය වැඩසටහනේ අවසන් වාරිකය මුදා හැරීමට ද කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට ද පැමිණ තිබේ. අදාළ ණය වැඩසටහනේ වාරික 04ක් මේ වන විට ශ්‍රී ලංකාවට ලබා දී තිබේ. එහි අවසන් වාරිකය පසුගිය නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිතව තිබුණත් එය තාවකාලිකව අත්හිටු වූයේ, ඒ වන විට රට තුළ මතුව තිබූ දේශාපාලන අර්බුදය හේතුවෙනි. කෙසේ වෙතත් පසුගිය ජනවාරි මාසයේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු මෙරට නියෝජිත පිරිසක් ජාත්‍යන්තර කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටීන් ලගාඩ් මහත්මිය හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව ණය වැඩසටහන යළි සක්‍රීය කිරීමට එකඟතාව පළ විය. ඒ අනුව පසුගියදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් මෙරටට පැමිණ ඊට අදාළ විමර්ශන කටයුතුවල ද නිරත වූහ.