by Staff writer 01-03-2019 | 5:38 PM
COLOMBO (News 1st) - නීති විරෝධි අන්දමින් - චුටි පුතා - නැමති අලි පැටවා සිය විහාරස්ථානයේ රඳවා තබා ගැනීම ඇතුළු අධිචෝදනා දෙකෙන්ම කිරුළපන ඇලන් මැතිනියාරාමාධිපති පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද නියෝග කර තිබේ.
විනිසුරුවරයා නියෝග කළේ, එම අලි පැටවා වනජීවි දෙපාර්තමේන්තුව භාරයට පත් කරන ලෙසයි.
විත්තිකාර හිමියන් විසින් එම අලි පැටවා සිය විහාරස්ථානයේ රඳවා තබාගෙන සිටි බවට සැක කළ හැකි කරුණු රැසක් අධිකරණය හමුවට ඉදිරිපත් වුවත් එකී කරුණු සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා පැවසුවේ ය.
මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණයට දන්වා සිටියේ, තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයට, අභියාචනයක් ගොනු කරන බවයි.
2015 ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම අලි පැටවා සොයාගෙන තිබූ අතර 2016 මාර්තු මස 09 වැනි දා පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් අත්අඩංගුවට ගෙන කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළේ ය.
එදින රක්ෂිත බන්ධනාගාරගත කළ උන්වහන්සේ 2016 මාර්තු 12 වැනි දා ඇප මත මුදා හළ අතර නීතිපතිවරයා විසින් 2016 මැයි 11 වැනි දා උන්වහන්සේට එරෙහිව මහාධිකරණයේ නඩු පවරනු ලැබුවේ ය.