by Staff writer 01-03-2019 | 8:39 AM
COLOMBO (News 1st) - අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිල්ලක් විමර්ශන සඳහා යොමු කිරීමට පසුගිය වසර 4 තුළ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම තීරණය කර තිබේ.
එම කොමිසම සඳහන් කළේ, ඊට අදාළ මූලික කටයුතු සම්පාදනය සඳහා පැමිණිල්ල ඇතුළත් ලිපි ගොනුව පොලිස් ඒකකය වෙත යොමු කළ බව ය.
ලංකා වැවිලි කරුවන්ගේ සංගමය විසින් අදාළ පැමිණිල්ල යොමු කර තිබේ.
එහි දැක්වෙන්නේ, ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රජයේ අණ පනත් උල්ලංඝණය කරමින් තම බිරිඳට, දියණියට හා ඥාතීන්ට ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් හන්තාන ප්‍රදේශයෙන් අක්කර 50, 20 හා 10 බැගින් වූ බිම් කොටස් ලබා දී ඇති බව ය.
මීට අමතරව රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාව විසින් පිළිකා නාශක ඖෂධ ගෙන්වීමේදී සිදු කළ බව කියන රුපියල් බිලියන ගණනක වංචාවක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ද විමර්ශන සඳහා යොමු කළ බව ජනාධිපති කොමිසම සඳහන් කළේ ය.
ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ සංගමය විසින් මෙම පැමිණිල්ල යොමු කර තිබිණි.
ඒ අනුව විමර්ශන සඳහා මේ වන විට කොමිසම තෝරාගෙන ඇති පැමිණිලි සංඛ්‍යාව 07කි.
ලබන 07 වන දා දක්වා පැමිණිලි භාර ගන්නා බව පසුගිය වසර 4 තුළ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම පවසයි.
මේ වන විට කොමිසමට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 295කි.