රුහුණ විශ්වවිද්‍යාලයේ මූල්‍ය අක්‍රමිකතාවක්

රුහුණ විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි පාඨමාලාවල මූල්‍ය අක්‍රමිකතාවක්

by Staff writer 28-02-2019 | 7:38 AM
COLOMBO (News 1st) - රුහුණ විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි සඳහා ලියාපදිංචි වන සිසුන්ගෙන් අය කර ගන්නා මුදල්වල ලාභාංශ එහි උපකුලපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය අතරේ බෙදා ගැනීමේ සූදානමක් පවතින බවට ‍රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර, සමාජ විද්‍යා, කළමනාකරණ හා මූල්‍ය පීඨ ආචාර්ය සංගමය චෝදනා කරයි. එහි ලේකම් ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය දර්ශන බණ්ඩාර මහතා පැවසුවේ 2014, 2015, 2016 යන වසරවල ලාභාංශවල මුදල් එලෙස ඔවුන් අතරේ බෙදා ගැනීමට ලේඛන සකස් කරමින් පවතින බව ය. අදාළ චෝදනා සම්බන්ධයෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණි සේනානායක මහතාගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. ඔහු පැවසුවේ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිකුත් කර ඇති චක්‍රලේඛයට අනුව බාහිර උපාධි පාඨමාලා වැඩසටහන්වලට සම්බන්ධ වන නිලධාරීන්ට සුළු දීමනාවක් හිමි වන බව ය. අදාළ සුළු දීමනාව උපකුලපතිවරයාට ද හිමි වන නමුත් ප්‍රතිපත්තියක් ලෙස තමන් කිසිදු මුදලක් ලබා නොගත් බවත් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණි සේනානායක මහතා පැවසුවේ ය. තමන් කිසිදු මුදලක් ලබා නොගත් බැවින් තම නිලධාරීන් ද එලෙස දීමනාව ලබා නොගත් බව මෙහිදී උපකුලපතිවරයා අවධාරණය කළේ ය. කෙසේ වෙතත් මෙලෙස එකතු වී ඇති දීමනා මුදල් අදාළ නිලධාරීන්ට ලබා නොදීම සම්බන්ධයෙන් රජයේ විගණන අංශ තමන්ගෙන් විමසූ බවත්, එබැවින් එම දීමනාව අදාළ නිලධාරීන්ට බෙදී යන පරිදි වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත් උපකුලපතිවරයා සඳහන් කළේ ය. මෙම ලාභාංශ ලබා ගැනීමට එරෙහිව ඊයේ දහවල් රුහුණ විශ්වවිද්‍යාලය ඉදිරිපිට සිසුන්ගේ හා මානව ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන්ගේ සහභාගීත්වයෙන් නිහඬ විරෝධතාවක් ද පැවැත්විණි.