රාජ්‍ය මාධ්‍ය අධ්‍යයනයට පත් කළ කමිටුවේ 4ක් අස්වෙති

රාජ්‍ය මාධ්‍ය අධ්‍යයනයට පත් කළ කමිටුවේ 4 දෙනෙක් ඉල්ලා අස්වෙති

by Staff writer 28-02-2019 | 5:21 PM
COLOMBO (News 1st) : රාජ්‍ය මාධ්‍ය මහජන සේවා මාධ්‍ය ආයතන බවට පත් කිරීම සඳහා අධ්‍යයන කිරීමට පත් කළ කමිටුවෙන් සාමාජිකයින් සිව් දෙනෙකු ඉල්ලා අස් වී තිබේ. මහාචාර්ය ජයදේව උයන්ගොඩ, සුදර්ශන ගුණවර්ධන, අනෝමා රාජකරුණා සහ කෞශල්‍යා ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ඉල්ලා අස්වූ පිරිසට අයත් වෙති. ඒ අනුව සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමු කළ බව කමිටු සාමාජික සුදර්ශන ගුණවර්ධන මහතා සඳහන් කළේ ය. හිටපු ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අදාළ කමිටුව පත් කරනු ලැබුවේ පසුගිය ජනවාරි මස 31 වැනිදායි. සාමාජිකයින් 7 දෙනෙකුගෙන් සමන්විත කමිටුවේ සභාපතිත්වය විජයානන්ද ජයවීර මහතාට හිමිව තිබේ. ආචාර්ය ප්‍රදීප් වීරසිංහ සහ නාලක ගුණවර්ධන ඉවත් වූ සාමාජිකයින්ට අමතරව කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති. සභාපතිත්වය දරණ විජයානන්ද ජයවීර මහතා විදේශගතව ඇති බැවින් මේ වනවිට එහි වැඩබලන සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ නාලක ගුණවර්ධන මහතායි.