බැඳුම්කර වංචාව පිළිබඳ වෝහාරික විගණන පරීක්ෂණය

බැඳුම්කර වංචාව පිළිබඳ වෝහාරික විගණන පරීක්ෂණයට ඉදිරි සතියේ ජාත්‍යන්තර විගණකයින් පත් කෙරේ

by Staff writer 28-02-2019 | 6:48 AM
COLOMBO (News 1st) - මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදු කිරීමට නියමිත වෝහාරික විගණන පරීක්ෂණය සඳහා ජාත්‍යන්තර විගණකයින් පත් කිරීම ඉදිරි සති කිහිපය ඇතුළත සිදු කිරීමට අපේක්ෂා කරන බව මහ බැංකුව පවසයි. මහ බැංකුව සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට පත් කළ කැබිනට් ටෙන්ඩර් කමිටුවේ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බව ය. මේ සඳහා විගණන කටයුතු කිරීම සඳහා ජාත්‍යන්තර විගණන සංගම් රැසක් ඉදිරිපත්ව තිබේ. ඉන් මුල් අදියරේ තෝරා ගත් ආයතන අතුරින් අවසන් තෝරා ගැනීම මේ වන විට සිදු වෙමින් ඇතැයි ද මහ බැංකුව ප්‍රකාශ කළේ ය. මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විගණන 6ක් සඳහා මෙලෙස ජාත්‍යන්තර විගණකයින් පත් කිරීමට නියමිත ය. බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සොයා බැලීමට 2017 වසරේ ජනවාරි 27 වන දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති කොමිසමක් පත් කරනු ලැබී ය. එම කොමිසම ලබා දුන් වාර්තාවේ ප්‍රධාන නිර්දේශ අතර පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම සිදු කළ සියලු ගනුදෙනු පිළිබඳව වෝහාරික විගණනයක් පැවැත්විය යුතුය යන්න සඳහන් ය.