සංයමයෙන් කටයුතු කරන්න - එ.ජා. මහ ලේකම් ඉල්ලයි

සංයමයෙන් කටයුතු කරන්න - එ.ජා. මහ ලේකම් ඉන්දියාවෙන් සහ පකිස්ථානයෙන් ඉල්ලයි

by Staff writer 27-02-2019 | 11:41 AM
(News 1st) - සංයමයෙන් යුතුව කටයුතු කරන්නැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්ටෝනියෝ ගුටරෙස් ඉන්දියාවෙන් සහ පකිස්ථානයෙන් ඉල්ලීමක් කරයි. ඒ, ඉන්දියාව සිය දේශසීමාව ආසන්නයේ පිහිටි පකිස්ථානයේ ජයීෂ් ඒ මොහොමඩ් ත්‍රස්ත සංවිධානයේ විශාලතම පුහුණු කඳවුරට ඊයේ ගුවනින් බෝම්බ හෙළීමෙන් පසු දෙරට අතර උත්සන්න වූ ගැටුම්කාරී තත්ත්වය හමුවේ ය. ඉන්දියාව සහ පකිස්ථානය අතර පවතින තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බව ද එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා කියා සිටියේ ය. ඉන්දීය ගුවන් හමුදාව පකිස්ථානයේ අභ්‍යන්තර ඉලක්කයකට එලෙස ප්‍රහාර එල්ල කළේ, 1971 වසරෙන් පසුවයි. උරි ප්‍රදේශයේ හමුදා කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින් ඉන්දීය සෙබළුන් රැසක් මිය යාමෙන් පසු ඉන්දියාව, පකිස්ථාන දේශසීමාවේ පිහිටි ත්‍රස්ත ඉලක්ක 7ක් වෙත උපායමාර්ගික ප්‍රහාර එල්ල කළේ 2016 වසරේදී ය. ඉකුත් පෙබරවාරි 14 වන දා පකිස්ථාන ත්‍රස්ත කණ්ඩායමක් ඉන්දීය සෙබළුන්ට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයකින් 40කට වැඩි පිරිසක් මිය යාම, ඉන්දියාව එලෙස ප්‍රහාර එල්ල කිරීමට හේතු විය. ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පකිස්ථානයට ඉන්දියාව ලබා දුන් වඩාත්ම ප්‍රිය කරන රාජ්‍යය නමැති නාමය ඉවත් කර ගත් අතර පකිස්ථානයෙන් ආනයනය කරන භාණ්ඩවලට පැනවූ තීරු බදු 200%කින් ඉහළ දැමිණි. මේ අතර පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මෙම ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසු එරට න්‍යෂ්ටික අවි පාලනය කරන ජාතික විධාන අධිකාරියේ හමුවක් ද කැඳවනු ලැබුවේ ය. පකිස්ථානය කියා සිටියේ, මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන් ඇතුළු සෙසු ලෝක ප්‍රජාව දැනුවත් කරන අතර තමන් තෝරා ගත් වේලාවක, තෝරා ගත් ස්ථානයකට, ඉන්දියාව පුදුමයට පත් කරමින් ප්‍රහාර එල්ල කරන බව ය. කෙසේ වෙතත් ඉන්දීය විශේෂඥයින් පවසන්නේ, පකිස්ථානය එරට න්‍යෂ්ටික අවි පාලනය කරන අධිකාරිය කැඳවීම හුදෙක් සංකේතාත්මක පියවරක් පමණක් බව ය. මේ අතර ඉන්දියාව, පකිස්ථාන ත්‍රස්ත කඳවුරකට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු පකිස්ථාන හමුදාව ඉන්දු - පකිස්ථාන දේශසීමාව හරහා ජම්මු කාශ්මීරයේ ස්ථාන කිහිපයකට ශෙල් ප්‍රහාර එල්ල කිරීමෙන් ඉන්දීය සෙබළුන් 5 දෙනෙක් තුවාල ලැබූහ. ඉන්දීය හමුදාව සඳහන් කළේ, තමන් ඊට ප්‍රතිචාර දක්වමින් පකිස්ථාන ඉලක්ක 5ක් විනාශ කළ බව ය. ඉන්දීය ප්‍රහාරයෙන් විනාශ වූ ත්‍රස්ත කඳවුර අක්කර 6ක භූමි භාගයක සමන්විත අතර වරකට ත්‍රස්තවාදීන් 600 දෙනෙකු පුහුණු කිරීමට හැකි ස්ථානයකි. හිස්බුල් මුජහිඩීන් ත්‍රස්ත සංවිධානය ද භාවිත කළ මෙම කඳවුරේ ත්‍රස්තවාදීන් පුහුණු කළේ, පකිස්ථාන හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය. ඉන්දියාව මෙම ප්‍රහාරය එල්ල කර පැය කිහිපයකට පසු ඔස්ට්‍රේලියාව, ප්‍රංශය ඇතුළු ලොව රටවල් රැසක් සාමය සහ ආරක්ෂාව අනතුරට පත් වන ක්‍රියාවලින් වැළකී සංයමයෙන් කටයුතු කරන ලෙස ඉන්දියාවෙන් සහ පකිස්ථානයෙන් ඉල්ලා සිටියේ ය.