COLOMBO (News 1st) : රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම මගහැර සිටින දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් 5 දෙනාට විදෙස්ගතවීම තහනම් කරමින් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.
මෙහිදී අධිකරණය නියෝග කළේ, එම සිද්ධිය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතාගේ ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් ලබා ගැනීමටයි.
මීට අමතරව මෙම ව්‍යාපාරිකයින් දෙදෙනා රැගෙන ගොස් ඝාතනය කළ බව කියන අක්මීමන ප්‍රදේශයේ නිවසෙන් සොයාගත් ලේ සාම්පල් ඇතුළු නඩු භාණ්ඩ 7 ක් රජයේ රස පරීක්ෂණවරයා වෙත යවා වාර්තාවක් ලබා ගන්නා ලෙස ද අධිකරණය නියෝග කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය.
රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයා සහ උප පොලිස් පරීක්ෂකවරයා ලබන 13 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
ඒ සැකකරුවන් අද ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
දෙවන සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
මෙහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේ සැකකරුවන්ගේ ඡායාරූප ඇතුළු සියලු විස්තර මේ වනවිට මුද්‍රිත මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී ඇති බැවින් හඳුනා ගැනීමේ පෙරට්ටුවක් පැවැත්වීම අනවශ්‍ය බවයි.
කෙසේ වෙතත් දෙවන සැකකරු වෙනුවෙන් හඳුනා ගැනීමේ පෙරට්ටුවක් පැවැත්වීමට මහේස්ත්‍රාත්වරයා තීරණය කළේ ය.
මිනිත්තු 15 කට අධිකරණය කටයුතු කල් තබා දෙවන සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළ ද සාක්ෂිකරුවන්ට ඔහු හඳුනා ගැනීමට නොහැකි විය.
ඒ අනුව යළි නඩුව කැඳවූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නඩුව ලබන 13 වනදාට කල් තැබී ය.
පොලිස් පරීක්ෂකවරයා බූස්ස බන්ධනාගාරයට සහ උප පොලිස් පරීක්ෂකවරයා කළුතර බන්ධනාගාරය වෙත යැවීමටත් අධිකරණය නියම කළේ ය.
ඔවුන් බන්ධනාගාර බස් රථවලට නංවන අවස්ථාවේදී ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයින්ගේ ඥාතීන් විරෝධය දැක්වූ බව අප වාර්තාකරු සඳහන් කළේ ය.
