බැඳුම්කර වංචාවට අදට වසර 4ක්

බැඳුම්කර වංචාවට අදට වසර 4ක්: මහ මොළකරුවන් තවමත් නිදැල්ලේ

by Staff writer 27-02-2019 | 7:37 AM
COLOMBO (News 1st) - මෙරට සිදු වූ දැවැන්තම මූල්‍ය වංචාව වන මහ බැංකු බැඳුම්කර වංචාවට අදට සිව් වසරක් සපිරේ. මීට සිව් වසරකට පෙර, වසර 30ක කාලයකට රුපියල් බිලියන 1ක බැඳුම්කර නිකුත් කිරීමට අදාළව මහ බැංකුවෙන් දැන්වීමක් පළ විය. ගනුදෙනුව අතරතුර එහි මුළු වටිනාකම බිලියන 20 තෙක් ඉහළ දමන්නට එවක මහා බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් උපදෙස් ලබා දී තිබිණි. පසුව මහා බැංකු නිලධාරීන්ගෙන් එල්ල වූ විරෝධය මධ්‍යයේ එම අගය බිලියන 10 දක්වා අඩු කෙරිණි. අදාළ බැඳුම්කරවලින් විශාල ප්‍රමාණයක් ඉහළ පොළියකට පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් ලබා ගත්තේ ය. ප්‍රාථමික ගැනුම්කරුවෙකු වන ලංකා බැංකුවත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් වෙනුවෙන් ලංසු තැබුවේ ය. මාධ්‍ය ඔස්සේ සියල්ල අනාවරණය වන විට බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රමවේදය වෙනස් කරන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කළේ ය. වංචාව පිළිබඳව සොයා බැලීමට අගමැති පිටිපන කමිටුව පත් කළ අතර එම කමිටු වාර්තාවට අනුව එවක මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් නිර්දෝෂී බවට ප්‍රකාශ කෙරිණි. මෙම වංචාව සම්බන්ධයෙන් කෝප් කමිටු පරීක්ෂණයක් අරඹන ලෙස එවක කථානායක චමල් රාජපක්ෂ මහතා කෝප් කමිටු සභාපති ඩීව් ගුණසේකරට උපදෙස් ලබා දුන්නේ ය. අදාළ කෝප් කමිටුවේ අතුරු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර දින එනම්, 2015 ජුනි 26 වන දා හදිසියේම පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ ය. "තමන් කළේ අගමැතිවරයා ලබා දුන් උපදෙස් ක්‍රියාත්මක කිරීම පමණක් බවට" දිවුරුමකට යටත්ව හිටපු මහ බැංකු අධිපතිවරයා කළ ප්‍රකාශයක් අදාළ වාර්තාවේ තිබූ බව පසුව හෙළි විය. මැතිවරණයෙන් පසු පත් වූ නව පාර්ලිමේන්තුව යටතේ සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සභාපතිත්වයෙන් කෝප් කමිටුව යළි විමර්ශන අරඹයි. 2016 මාර්තු 29 හා 30 තවත් මත භේදාත්මක බැඳුම්කර ගනුදෙනු දෙකක් අර්ජුන් මහේන්ද්‍රන් යටතේ සිදු වෙයි. 2016 ඔක්තෝබර් එ.ජා.ප. මන්ත්‍රීන්ගේ පාද සටහන්වලින් සැර බාල කළ කෝප් වාර්තාව ප්‍රසිද්ධියට පත් කෙරේ. 2017 ජනවාරි 27 සමාජ බලපෑම් මත අදාළ ගනුදෙනුව පිළිබඳව සෙවීමට ජනපතිගෙන් ජනාධිපති කොමිසමක්... 2017 දෙසැම්බර් 30 මාස 11ක් පුරා සිදු කළ දීර්ඝ පරීක්ෂණයකින් පසු කොමිසම් වාර්තාව ජනපති අතට පත් වූ අතර, ජනපතිගෙන් එය නීතිපති අතට පත් විය. කොමිසම හමුවේ අනාවරණය වූ ප්‍රධාන කරුණු... 1) අර්ජුන මහේන්ද්‍රන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් වෙත වංචනික චේතනාවෙන් යුතුව සංවේදී තොරතුරු සපයා ඇත. 2) මහේන්ද්‍රන්ගේ බැණා වන අර්ජුන් ඇලෝසියස් තම මාමණ්ඩිය සමග ඇති සබඳතාව භාවිත කරමින් අදාළ තොරතුරු ලබා ගැනීම හරහා රාජ්‍ය ආයතනවලට පාඩු සිදු කර ඇති අතර, පර්පෙචුවල් ට්‍රෙෂරීස් වෙත අධික ලාභයක් ලැබීම. 3) රවි කරුණානායකට අල්ලස් චෝදනා - මුදල් ඇමති ධූරයත් අහිමි වෙයි. 4) මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති සමරසිරි සහ අර්ජුන මහේන්ද්‍රන්, අගමැති රනිල් වික්‍රමසිංහට වැරදි කරුණු වාර්තා කර ඇත. කොමිසම ලබා දුන් ප්‍රධාන නිර්දේශ... 1) පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම සිදු කළ සියලු ගනුදෙනු පිළිබඳව වෝහාරික විගණනයක් පැවැත්විය යුතුයි. 2) වගකිව යුතු සියල්ලන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. නමුත්, අර්ජුන මහේන්ද්‍රන්ට නොතීසි නිකුත් කර ඇතත්, සිංගප්පූරුවේ සිටින බව කියන ඔහු සොයා ගැනීමට රජය අපොහොසත් වී ඇත. මාස 10ක් බන්ධනාගාරගතව සිටි අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පාලිසේනටත් මේ වසර ආරම්භයේදී ඇප හිමි විය. රනිල් වික්‍රමසිංහ තවමත් අගමැති ධූරයේ යෙහෙන් වැජඹෙද්දී, මෙරට දැවැන්තම මූල්‍ය වංචාවට සිව් වසරක් සපිරෙන අතර වගකිව යුත්තන්ට දඬුවම් දීමට බලධාරීන් අපොහොසත් වී තිබේ.