ජයසූරියට නියම වූ තරග තහනම ගැන මහේල තැබූ සටහන

ජයසූරියට නියම වූ තරග තහනම ගැන මහේල තැබූ සටහන

by Staff writer 27-02-2019 | 6:58 PM
COLOMBO (News 1st) : අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සුපිරි ක්‍රීඩක සනත් ජයසූරියට නියම කළ වසර 2 ක තරග තහනම පිළිබඳ හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් නායකයෙකු වන මහේල ජයවර්ධන ට්විටර් ඔස්සේ අදහස් දක්වා තිබේ. ට්විටර් ඔස්සේ, පණිවුඩයක් නිකුත් කරමින් මහේල ජයවර්ධන පවසා ඇත්තේ, සිය ප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයෙකුට මෙලෙස තරග තහනමක් පැනවීම පිළිබඳ තමන් කණගාටු වන බවයි. වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තුළ දූෂණ වංචා ඇත්නම් ඒවා හෙළිදරව් නොකරන්නේ ඇයි දැයි තමන්ට ප්‍රශ්නයක් බව ත් , එලෙස දූෂණ වංචා ඇත්නම් ඒවා හෙළි කොට අනාගත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව රැක ගැනීමට උපකාර කරන ලෙසත් ඔහු ඉල්ලා සිටී. පසුගිය කාලවකවානුව තුළ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතර මෙරට දූෂිතම රට ලෙස හුවා දැක්වීමට ගත් උත්සහය බොහෝ දෙනාගේ අවධානය යොමුවු කරුණකි. විටින් විට කණ්ඩායම් වශ‍යෙන් මෙන්ම නිලධාරීන් වශයෙන් මෙරටට පැමිණි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන නිලධාරීන් මෙරට ක්‍රීඩකයින් මෙන්ම නිලධාරීන් ද ප්‍රශ්න කිරීම්වලට ලක්කළ බවට තොරතුරු වාර්තා විය. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පසුගිය වකවානුව මුළුල්ලේම ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාට මෙන්ම වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයාට ද ප්‍රකාශ කර සිටියේ ජාත්‍යන්තරය තුළ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතුරින් දූෂිතම රට වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම බවයි. නමුත් පසුගිය වකවානුව මුළුල්ලේම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නියෝජිතයින් මෙරටට පැමිණ සිදුකළ විමර්ශන අතුරින් අනාවරණය කරගත් කිසිදු කරුණක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය නොකිරීම විමතියට කරුණකි. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකය තොරතුරු දැන ගැනීමට සහන කාලයක් ලබාදී තොරුතුරු ද එක්රැස් කරනු ලැබීය. නමුත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්දන ඒකකයේ ඇලේක්ස් මාෂල් ඇතුළු නිලධාරී මණ්ඩලය සිදුකළ පරීක්ෂණවලදී මෙරට කිසිදු ක්‍රීඩකයෙකු තරග පාවාදීම් හෝ වෙනත් විනය විරෝධි ක්‍රියාවකට සම්බන්ධ බවට සහතික කිරීමට මෙතෙක් ක්‍රියා කර නොමැත. පසුගිය එංගලන්ත සංචාරය තුළදී ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල දුෂණ මර්දන නිලධාරීන් සිදුකළ ඇතැම් ප්‍රකාශ සහා ප්‍රවෘත්ති තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කිර්තී නාමයට සහා ක්‍රීඩකයින්ට සිදුවූ අගතිය සුළුපටු නොවෙයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්දන නිලධාරීන් සිදුකළ චෝදනා සනාථ කර ගැනීමට නොහැකි වූ පසුබිමක ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කිර්ති නාමයට සිදුවු හානිය වෙනුවෙන් සහා අපහසුතාවය වෙනුවෙන් වගකීම් දරන්නේ කවු ද ? ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ජාත්‍යන්තර තලය තුළ මෙලෙස චෝදනා එල්ල කරමින් කටයුතු කළ පුද්ගලයින්ගේ සැබෑ අවශ්‍යතාව කුමක් ද? ශ්‍රී ලාංකිකයින් ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් ලොව ජයගත් මුරලිදරන් , ක්‍රිකට් ක්‍රීඩාවෙන් අතුගා දැමීමට ගත් උත්සහයේ පටන් මේ වන තෙක් ලෝක ක්‍රිකට් කිරුළු දෙකකට හිමිකම් කියන අප ක්‍රිකට් අභිමානය විනාශ කර ගැනීමට පිටුපස සිටින්නේ කවු ද? ලෝක කුසලානයට දින 93 ක් ඉතිරිව තිබියදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ගේ මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කිර්ති නාමය ආරක්ෂා කිරීම උදෙසා වගකීම් දරන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සැබෑ වගකීම දැන්වත් ඉටුකළ යුතු නොවන්නේ ද?