සීමාවාසික වෛද්‍ය පුහුණු පත්වීම් ලබාදීම වලක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

by Staff writer 26-02-2019 | 7:49 PM

COLOMBO (News 1st) - රජයේ වෛද්‍ය පීඨවලින් හා කොතලාවල වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධි ලැබූ පිරිසකට සීමාවාසික පුහුණු පත්වීම් ලබාදීම වලක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් ලබාදී තිබේ.

සයිටම් වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිය ලැබූ සිසුන් තිදෙනෙකු විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ ප්‍රසන්න ජයවර්ධන, පී. පද්මන් සූරසේන හා එස්. තුරෙයිරාජා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ලබන මස 27 දක්වා බලපැවැත්වෙන පරිදි මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කරනු ලැබුවේ ය. සයිටම් වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලැබූ පෙත්සම්කාර සිසුන් තිදෙනා ඇතුළු 85 දෙනෙකුට සීමාවාසික පුහුණු පත්වීම් ලැබීමට සුදුසුකම් ලබා තිබියදී ඔවුන්ට පත්වීම් ලබා නොදී වෙනත් පිරිසකට ලබාදීමට පියවර ගෙන ඇතැයි පෙත්සමෙන් පෙන්වාදී තිබුණි. මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිවී ඇති සැමට සමානාත්මතාවෙන් සැලකීමේ ඇති අයිතිවාසිකම අහිමි කිරීමක් බව පෙන්වාදෙමින් පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරු මඩුල්ල අතුරු තහනම් නියෝගය නිකුත් කළේ ය. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, අමාත්‍යංශයේ ලේකම්වරයා, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, නීතිපතිවරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා ඇතුළු 06 දෙනෙකු නම් කර ඇත. සයිටම් වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධි ලැබූ පිරිසට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලද වෛද්‍ය වෘත්තියේ නියැලීමට අයිතියක් ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ තීන්දුවක් අනුව තහවුරු කර ඇති බව ද පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන් අධිකරණයට පෙන්වා දුන්හ. මේ අතර සීමාවාසික පත්වීම් ලබා ගැනීම සඳහා පැමිණෙන්නැයි කළ දැනුම්දීම මත අද විශාල පිරිසක් අරලිය ගහ මන්දිරයට රැස් ව සිටි බව ද වාර්තා වේ. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ පත්වීම් ලිපි ලබාදීමට සැලසුම්කර තිබුනත් අධිකරණ නියෝගයත් සමග එය අත්හිටුවීමට සිදුවිය.