පෑලියගොඩින් හමු වූ මිනිස් හිස කාගේ ද?

by Staff writer 26-02-2019 | 8:51 PM

COLOMBO (News 1st) - පෑලියගොඩ සිමෙන්ති කර්මාන්තශාලා පරිශ්‍රයක තිබී හමු වූ මිනිස් හිස DNA පරීක්ෂණයකින් හඳුනාගත් බව පොලීසිය පවසයි.

මේ අතර එම පුද්ගලයාගේ බවට සැකකෙරෙන තව ත් අස්ථි කොටස් කිහිපයක් පෑලියගොඩ ඇළ මාර්ගයක තිබී හමුවී ඇත. පෑලියගොඩ සිමෙන්ති කර්මාන්ත ශාලා පරිශ්‍රයක තිබී මෙම මිනිස් හිස හමුවුණේ පසුගිය වසරේ දෙසැම්බර් 12 වෙනි දායි. එදින 11.30 ට පමණ සුනඛයෙකු මෙම මිනිස් හිස රැගෙන එන අයුරු එම කර්මාන්ත ශලාවේ සී.සී.ටී.වී කැමරාවල සටහන්ව තිබුණි. මිනිස් අස්ථි කොටස් හමුව ඇත්තේ ද ඊට ආසන්නව පිහිටි ඇළ මාර්ගයකිනි. පසුගිය මස 20 වන දා කොල්ලුපිටිය, ගාලුමුවදොර කෝට් පටුමගේ පිහිටි නිවාස සංකීර්ණයක ඉහළ මහලේ නිවසක තිබී අත පා බැද පුළුස්සන ලද මළ සිරුරක් හමුවිය. එංගලන්ත ජාතිකයෙක් හා ඔහුගේ බිරිඳවන තායිලන්ත කාන්තාවක් විසූ අදාළ නිවසේ තිබූ එම පුළුස්සා දැමූ මළ සිරුර එම නිවසේ සේවය කළ අරක්කැමියාගේ බවට තහවුරු විය. එම අවස්ථාවේ අදාළ එංගලන්ත ජාතිකයාගේ රියැදුරෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු ඊට දින කිහිපයක සිට අතුරුදන්ව සිටින බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි. පෑලියගොඩින් හමු වූ මිනිස් හිස මෙම රියැදුරාගේ බව තහවුරුවී තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ, අසෝක ක්‍රිෂාන්ත සිරිවර්ධන නැමති වයස 48 හැවිරිදි දෙදරු පියෙකි. ඔහු පසුගිය දෙසැම්බර් 4 වෙනි දා එංගලන්ත ජාතිකයාගේ යහළුවන් පිරිසක් සමග චාරිකාවක් ගොස් නැවත තම නිවසට පැමිණ ඇත. පසුදින 9.40 ට පමණ ඔහු සිය පුත්‍රයාට දුරකතන ඇමතුමක් ලබාදී ඇති අතර ඊට පැයකට පසු ඔහුගේ දුරකතනයෙන් ද ප්‍රතිචාරයක් නොමැතිව ගොස් තිබිණි. මෙම සිදුවීම පිළිබඳව කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසය විසින් විමර්ශන සිදු කරනු ලබයි.