කොල්ලුපිටියෙන් ඇල්ලූ කුඩු රටට එවූ ජාවාරම්කරු කවුද?

කොල්ලුපිටියෙන් ඇල්ලූ කුඩු තොගය එවූ ජාවාරම්කරු කවු ද?

by Sagarika Chathumali 26-02-2019 | 7:17 AM
COLOMBO (News 1st): මෙරටින් සොයා ගත් විශාලතම හෙරොයින් තොගය සමග අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ දුරකතන වාර්තා ලබා ගැනීමට පියවර ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඒ අනුව ඔවුන් භාවිත කළ සිම්පත් හිමි සමාගම් හරහා සැකකරුවන් විසින් ලබා ගෙන ඇති දුරකථන සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි. මෙම ජාවාරම සම්බන්ධයෙන් සැකකරුවන් හෙළි කරන තොරතුරු මෙරට සහ විදේශිය වශයෙන් ක්‍රියාක්මක බුද්ධි අංශ සමග හුවමාරු කර ගනිමින් දීර්ඝ විමර්ශනයක් සිදුකරන බව ද පොලීසිය ප්‍රකාශ කළේ ය. ජවාරම ඩුබායි රාජ්‍යයේ සිටින මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු දකුණු ආසියානු රටක තවත් ජාවාරම්කරුවෙකු මාර්ගයෙන් මෙරටට එවා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මෙම ජාවාරම්කරු ඩුබායි රාජ්‍යයේ නිදැල්ලේ සිටින අයෙකු බව සඳහන් ය. මෙයට ඩුබායිහි අත්අඩංගුවට ගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධුෂ්ගේ කණ්ඩායමේ සම්බන්ධයක් නොමැති බවට ද තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය. කොල්ලුපිටියේ සුපිරි වෙළඳ සංකීර්ණයක රථ ගාලකදී පසුගිය 23 වනදා අත්අඩංගුවට ගත් හොරොයින් ප්‍රමාණයේ බර කිලෝග්‍රෑම් 294 යි ග්‍රැම් 490කි. මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන තුන්දහස් පන්සිය තිස් තුනකි.