ඉන්දීය - පකිස්ථාන යුද ගිනි යළි ඇවිළෙන ලකුණු....

පකිස්ථාන - ඉන්දීය දේශසීමාවේ ත්‍රස්ත කඳවුරකට ගුවන් ප්‍රහාරයක්

by Sagarika Chathumali 26-02-2019 | 10:05 AM
COLOMBO (News 1st) : පකිස්ථානයේ ඉන්දීය දේශසීමාව ආශ්‍රිතව පිහිටි ත්‍රස්ත කඳවුරකට අද අලුයම ප්‍රහාර එල්ල කර විනාශ කළ බව ඉන්දියාව පවසයි. ඉන්දීය හමුදාව සඳහන් කළේ, අද අලුයම 3.30 ට පමණ මිරාජ් ටූ තවුසන්ඩ් ප්‍රහාරක ජෙට් යානා 12 ක් යොදාගනිමින් මෙම ප්‍රහාරය ඒල්ල කළ බවයි . කිලෝග්‍රෑම් දහසක් බර බෝම්බ හෙළීමෙන් පකිස්ථාන දේශසීමාවේ පිහිටි ත්‍රස්ත කඳවුර සම්පූර්ණයෙන්ම විනාශ කළ බව ඉන්දීය ආරක්ෂක අංශ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. ඒම වාර්තා සඳහන් කළේ, අදාළ ත්‍රස්ත කඳවුර ජයීෂ් ඒ මොහොමඩ් නමැති ත්‍රස්ත සංවිධානයේ ත්‍රස්තවාදීන් පුහුණුකිරීමේ කඳවුරක් බවයි . මේ අතර ඉන්දීය ගුවන් හමුදාව සිය ගුවන් අවකාශය උල්ලංඝනය කළ බවට පකිස්ථාන හමුදාව චෝදනා කළේ ය. පකිස්ථාන හමුදාවේ මේජර් ජෙනරාල් අසීෆ් ඝාෆූර් ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් කියාසිටියේ ඉන්දීය ගුවන් හමුදාව සිය දේශසීමාව උල්ලංඝනය කිරීම හමුවේ තම ගුවන් හමුදාව ද කඩිනමින් සිය ප්‍රහාරක ජෙට් යානා පිටත්කර යැවූ බවයි. කෙසේවෙතත් ඉන්දීය ගුවන් යානා ඒ වනවිටත් ආපසු පිටත්ව ගොස් ඇති බව පකිස්ථානය ප්‍රකාශ කළේ ය.