දකුණේ SIU ගිනිඅවි සේප්පුවට මුද්‍රා

දකුණේ SIU ගිනිඅවි සේප්පුවට මුද්‍රා

by Sagarika Chathumali 26-02-2019 | 12:51 PM
COLOMBO (News 1st) : රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ ගිනිඅවි සේප්පුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුද්‍රා තබා තිබේ. ඒ ඊට අදාළ මූලික පරීක්ෂණවලට අදාළවයි. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ ,දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකක කාර්යාලයට මේ වන විට විශේෂ පොලිස් ආරක්ෂාවක් ද යොදවා ඇති බවයි. මංජුල අසේල හා රෂීන් චින්තක නමැති ව්‍යාපාරිකයින් දෙදෙනා ,පැහැරගැනීමෙන් පසු අක්මීමන ප්‍රදේශයේ නිවසත් තුළදී ඝාතනය කර වලස්මුල්ල මැදගංගොඩ උඩදෙණිය රක්ෂිතය තුළදී සිරුරු ගිනි තබා විනාශකර ඇති බවට අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුව මීට පෙර අනාවරණය කළේ ය. පසුව දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් 15 දෙනෙකු ස්ථාන මාරු කිරීමට ද පියවර ගත්තේ ය. කෙසේ වෙතත් ස්ථාන මාරුවීම් ලැබූ නිලධාරීන් 15 දෙනාගෙන් 03 දෙනෙකු මෙතෙක් සිය සේවා ස්ථාන වෙත වාර්තා කර නොමැති බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ ය. ඔහු සඳහන් කළේ, දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන ඒකකයේ ඉතිරිව සිටින පොලිස් නිලධාරීන් 10 දෙනාට ද ස්ථාන මාරුවීම් ලබාදීම සම්බන්ධයෙන් පොලීසිය මේ වනවිට කටයුතු කරමින් සිටින බවයි. අවශ්‍ය වුවහොත් එම ඒකකය විසුරුවා හැරීමට පියවර ගන්නා බව ද ඔහු පැවසී ය. මෙම ඒකකයට අනියුක්තව සේවය කරන පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 25කි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, අදාල නිලධාරීන් තවදුරටත් සේවයට වාර්තා නොකළ හොත් ඔවුන් සේවය හැර ගියා සේ සලකා කටයුතු කරන බවයි. අදාළ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නියෝජ්‍ය ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා හා උප පොලිස් පරීක්ෂක විරාජ් මධුෂංක යන අය මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. එමෙන්ම දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා ද මේ වනවිට පොලිස් මූලස්ථානයට තාවකාලික පදනම මත මාරුකර යවා ඇත.