එල්.එන්.ජී සහ ටැබ් පරිගණක ව්‍යපෘති ගැන සොයා බැලීමට ජනපතිගෙන් කමිටුවක්

by Staff writer 26-02-2019 | 4:52 PM

COLOMBO (News 1st) - කෙරවලපිටිය එල්.එන්.ජී බලාගාරයේ ටෙන්ඩර් පටිපාටිය පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.

අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැති කැබිනට් මණ්ඩල හමුවේදී මෙම කමිටුව පත් කෙරුණි. කමිටු වාර්තාව සතියකින් ලබාදෙන ලෙස ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම කමිටුවට දැනුම් දී ඇත. පාඨලි චම්පික රණවක, මලික් සමරවික්‍රම, රවී කරුණානායක සහ හර්ෂ ද සිල්වා අමාත්‍යවරුන්ගෙන් සමන්විතව මෙම කමිටුව පත් කර තිබේ. මේ අතර පාසල් සිසුන්ට ටැබ් පරිගණක ලබාදීම සම්බන්ධයෙන් සොයා බැලීමට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කමිටුවක් පත් කර ඇත. අද පැවති කැබිනට් හමුවේදී තීරණය වී ඇත්තේ, ඒ ශ්‍රේණියේ පාසල් සඳහා පමණක් ටැබ් පරිගණක ලබාදීමටයි. එහි ක්‍රමවේදය සම්බන්ධයෙන් අද පත්කළ කමිටුව සතියක් තුළ වාර්තාවක් ලබාදිය යුතු බව ද ජනාධිපතිතුමා දැනුම්දී ඇත. එම කමිටුව එරාන් වික්‍රමරත්න, හරීන් ප්‍රනාන්දු, අජිත් පී පෙරේරා සහ අකිල විරාජ් කාරියවසම් යන අමාත්‍යවරුන්ගෙන් සමන්විතවේ.