අතිඋත්කර්ෂවත් 91 වන ඔස්කාර් සම්මාන උළෙල

අතිඋත්කර්ෂවත් 91 වන ඔස්කාර් සම්මාන උළෙල

by Staff writer 25-02-2019 | 9:54 AM
91 වන ඔස්කාර් සම්මාන උළෙල අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි ඩොල්බි තියටර්හිදී උත්කර්ෂවත්ව පැවැත්විණ. ඔස්කාර් සම්මාන උළෙලේ හොඳ ම චිත්‍රපටයට හිමි සම්මානය ග්‍රීන් බුක් චිත්‍රපටයට හිමිවූයේ සිනමාලෝලීන් මෙන්ම ඔස්කා ප්‍රේක්ෂකයින් විමතියට පත්කරමිනි. හොඳම සහය නළුවා  ,හොඳම තිරපිටපත ඇතුළුව ග්‍රීන් බුක් චිත්‍රපටය මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී හිමිකරගත් සම්මාන සංඛ්‍යාව තුනකි. මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳ ම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය දිනාගැනීමට රෝමා චිත්‍රපටය වෙනුවෙන් අල්ෆොන්සෝ කුරෝන් සමත්විය. රෝමා චිත්‍රපටය හොඳ ම විදේශීය භාෂා චිත්‍රපටය, හොඳම සිනමාකරණය ඇතුළුව ඔස්කාර් සම්මාන 3 ක් හිමිකරගත්තේ ය. හොඳ ම සහය නළුවාට හිමි සම්මානය දිනාගත් මහේර්ෂලා අලි, මීට පෙරද මූන්ලයිට් චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් හොඳ ම සහය නළුවාට හිමි ඔස්කාර් සම්මානය දිනාගෙන තිබිණ. මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ ප්‍රථම සම්මානය හෙවත් හොඳ ම සහය නිළියට හිමි සම්මානය හිමිවූයේ, ඉෆ් බේල් ස්ට්‍රීට් කුඩ් ටෝක් චිත්‍රපටයේ රඟපෑ රෙජිනා කින්ග්ටයි. ඔස්කාර් සම්මාන උළෙලේ, හොඳ ම නළුවා, හොඳම සංස්කරණය , හොඳ ම ශ්‍රව්‍ය සංකලනය , හොඳ ම ශබ්ද සංස්කරණයට හිමි සම්මාන 4 ක් දිනාගත්තේ බොහීමියන් රැප්සොඩි චිත්‍රපටයයි . ඒ උළෙලේ වැඩි ම සම්මාන සංඛ්‍යාවක් දිනාගත් චිත්‍රපටය බවට පත්වෙමිනි. හොඳම නිළියට හිමි සම්මානය ද ෆේවරිට් චිත්‍රපටය වෙනුවෙන් ඔලීවියා කෝල්මන් දිනාගත් අතර හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත්තේ රැමී මලෙක් ය. ද ෆේවරිට් චිත්‍රපටය සම්මාන උළෙලේ සම්මාන 11ක් සඳහා නිර්දේශ වුවත් ඒය දිනාගත්තේ ඒක් සම්මානයක් පමණයි. මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳ ම නිෂ්පාදන නිර්මාණය, හොඳම ඇඳුම් නිර්මාණය ඇතුළු සම්මාන තුනක් දිනාගැනීමට බ්ලැක් පැන්තර් චිත්‍රපටය සමත්විය. ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම උපුටාගත් තිරපිටපතට හිමි සම්මානය දිනාගැනීමට බ්ලැක්ක්ලෑන්ස්මන් චිත්‍රපටය වෙනුවෙන් ස්පයික් ලී සමත්විය. සම්මාන උළෙලේ හොඳම වාර්තාමය චිත්‍රපටයට හිමි සම්මානය ෆ්‍රී සෝලෝ චිත්‍රපටය හිමිකරගත්තේ ය. ඊට පාදක වූයේ ඇලෙක්ස් හොනල්ඩ් නැමති කඳු නගින්නකු ලොව වඩාත් ජනප්‍රිය අඩි 3200 ක උසින් යුත් ගල් පර්වතයක් කඹයක හෝ කිසිවක ආධාරයෙන් තොරව තරණය කිරීමේ කථා පුවතකි. මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම ගීතයට හිමි සම්මානය දිනාගැනීමට අ ස්ටාර් ඉස් බෝර්න් චිත්‍රපටයේ ශැලෝ ගීතය සමත්විය. එම සම්මානය හිමිකරගත්තතේ ලේඩි ගාගා ,මාර්ක් රොන්සන් , ඇන්තනි රොසොමොන්ඩෝ සහ ඇන්ඩෘ ව්යැට් යන අය විසිනි. මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳ ම සජීවිකරණ චිත්‍රපටයට හිමි සම්මානය දිනාගැනීමට ස්පයිඩර් මෑන් - ඉන් ටු ද ස්පයිඩර්වර්ස් චිත්‍රපටය සමත්විය. සම්මාන උළෙලේ සුදු ජාතිකයන් මෙන්ම කළු ජාතිකයන්ගේ ද කැපී පෙනෙන සහභාගීත්වයක් තිබීම බොහෝ දෙනාගේ ඇගයුමට පාත්‍ර වූහ. සුපිරි හොලිවුඩ් නිළි ජූලියා රොබර්ට්ස් සම්මාන උළෙලේ සම්මාන සඳහා නිර්දේශිත සියලු දෙනා අගයමින් සමාප්ති කථාව පැවැත්වීය.