රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනාගේ බවට සැලකෙන තව ත් අස්ථි කොටස් කිහිපයක් හමුවෙයි

by Staff writer 25-02-2019 | 9:17 PM

COLOMBO (News 1st) - අතුරුදන් වූ රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනාගේ සිරුරු පිළිස්සු බව කියන වලස්මුල්ල, මැදගංගොඩ, උඩදෙණිය රක්ෂිතයේ තිබි අද පස්වරුවේ තව ත් අස්ථි කොටස් කිහිපයක් හමුවිය.

මේ අතර ඔවුන් ඝාතනය කිරීමෙන් පසු දේහයන් රැගෙන යාමට භාවිතා කළ බව කියන කැබ් රථයක් අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ. මංජුල අසේල හා රෂීන් චින්තක නමැති ව්‍යාපාරිකයින් දෙදෙනා, පැහැරගැනීමෙන් පසු අක්මීමන ප්‍රදේශයේ නිවසක් තුළදී ඝාතනය කර වලස්මුල්ල මැදගංගොඩ උඩදෙණිය රක්ෂිතය තුළ ගිනිතබා ඇතැයි අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුව මීට පෙර අනාවරණය කළේ ය. ඒ අනුව ඉකුත් 22 දා උඩදෙණිය රක්ෂිතය පරීක්ෂාවට ලක් කෙරුණු අතර එහි ගිනි තැබීමක් සිදු කළ ස්ථානයක තිබී මිනිස් අස්ථි බවට සැකකෙරන කොටස් කිහිපයක් හමුවිණි. අද තව ත් අස්ථි කොටස් හමුව ඇත්තේ ඊට ආසන්නව මදක් පහළින් පිහිටි ඇළ මාර්ගයක් සමීපයෙන්. අප වාර්තාකරු පැවසුවේ, පසුගිය දිනවල එම ප්‍රදේශයට ඇදැහැලුණු අධික වර්ෂාව හේතුවෙන් එම අස්ථි කොටස් ඇළ මාර්ග අසළට ගසාගෙන විත් ඇතැයි සැක කරන බවයි. මේ අතර දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන ඒකකයේ ඉතිරිව සිටින පොලිස් නිලධාරීන් දස දෙනාට ද ස්ථාන මාරුවීම් ලබාදීම සම්බන්ධයෙන් පොලීසිය මේ වනවිට කටයුතු කරමින් සිටි. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, ඔවුන්ට මාතර ප්‍රදේශයෙන් බැහැර පොලිස් ස්ථානයකට මාරුවීම් ලබා දෙන්නැයි ඉල්ලා පොලිස්පතිවරයා වෙත ලිඛිතව දන්වා යැවූ බවයි. මෙම ඒකකයට අනුයුක්තව පොලිස් නිලධාරීන් 25 දෙනෙකු රාජකාරියේ යොදවා සිටි අතර ඔවුන්ගෙන් 15 දෙනෙකුට පසුගිය දා පොලිස්පතිවරයා විසින් බස්නාහිර පළාත වෙත ස්ථානමාරුවීම් ලබා දුන්නේ ය. එලෙස ස්ථාන මාරුවිම් ලබාදුන් පොලිස් නිලධාරීන්ගෙන් 4 දෙනෙකු මෙතෙක් සේවා ස්ථානයට වාර්තා කර නැත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, ඔවුන් තවදුරටත් සේවයට වාර්තා නොකළ හොත් සේවය හැර ගියා සේ සලකා කටයුතු කරන බවයි. මේ අතර සේවයට වාර්තා නොකළ එම පොලිස් නිලධාරීන්ගේ නිවැසියන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස ද අදාළ නිලධාරීන් පදිංචි ප්‍රදේශයට අදාළ පොලිස් ස්ථානවලට දන්වා ඇතැයි පොලීසිය පවසයි. රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන ඒකකයේ නියෝජ්‍ය ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා හා උපපොලිස් පරීක්ෂක විරාජ් මධුෂංක යන මහත්වරුන් මේ වන විට සිටින්නේ රක්ෂිත බන්ධනාගාර ගතවයි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා ද මේ වනවිට පොලිස් මූලස්ථානයට තාවකාලික පදනම මත මාරු කර යවා තිබේ.