by Staff writer 25-02-2019 | 6:10 PM
COLOMBO (News 1st) - බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සරත්චන්ද්‍ර මහතා අනතුරකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනාගෙන් 07 දෙනෙකු ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබේ.
ඒ, සැකකරුවන් අද පස්වරුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඩිෆෙන්ඩර් රථය පැද වූ උදේශ් රත්නායක නැමැත්තා ලබන 11 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේ ය.
අත්අඩංගුවට පත්වුවන් අතර කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රිවරයෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුත්‍රයා සහ පොලිස් අධිකාරිවරයෙකුගේ පුත්‍රයෙකු ද වේ.
අද පස්වරුවේ එම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිඥවරුන් සහ පොලිස් නිලධාරීන් හැර මාධ්‍යවේදීන් ඇතුළු සෙසු පුද්ගලයින් අධිකරණයෙන් පිටතට යවා එම නඩු කටයුත්ත විමසීමට අතිරේක මහේස්ත්‍රාත්වරයා පියවර ගැනීම විශේෂත්වයකි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, අනතුර සිදුකර පළා ගිය ඩිෆෙන්ඩර් රථයේ ගමන් ගත් සැකකරුවන් 05 දෙනෙකු සහ ප්‍රාඩෝ රථයේ ගමන් ගත් සැකකරුවන් 03 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.
බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා රාජකාරී කටයුත්තක් සඳහා යතුරු පැදියෙන් යමින් සිටියදී ඊයේ අලුයම 4.30 ට පමණ කොළඹ - ගාල්ල මාර්ගයේ බම්බලපිටිය ප්‍රදේශයේදී අනතුරට ලක්විය.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පොලිස් පරීක්ෂකවරයා මේ වනවිට ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනු ඇති.