කොළඹ නාගරික මන්ත්‍රීවරයෙකුත් අත්අඩංගුවට

බොරැල්ලේ අනතුර සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙකුත් අත්අඩංගුවට

by Hashini De Mel 25-02-2019 | 3:30 PM

COLOMBO (News 1st) - බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙකු ඇතුළු සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුත්‍රයා සහ පොලිස් අධිකාරිවරයෙකුගේ 27 හැවිරිදි පුත්‍රයෙකු ද අයත් වේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, අනතුර සිදු කර පළා ගිය ඩිෆෙන්ඩර් රථයේ ගමන් ගත් සැකකරුවන් 05 දෙනෙකු සහ ප්‍රාඩෝ රථයේ ගමන් ගත් සැකකරුවන් 03 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ. බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා රාජකාරී කටයුත්තක් සඳහා යතුරු පැදියකින් යමින් සිටියදී ඊයේ අලුයම 4.30 ට පමණ කොළඹ - ගාල්ල මාර්ගයේ ඩුප්ලි බුලස් හන්දියේදී මෙම අනතුර සිදු විය.